සීමාව ඉක්මවා සතුට සැමරූ එංගලන්ත ක්‍රීඩකයාට දඩ!

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

1891

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඔහුගේ එම දඬුවම තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

තරගාවලියේ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර තෙවැනි එක්දින තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.

Curran හමුවේ දැවී යාමට පෙර Temba Bavuma විසින් අගනා ශතකයක් සමඟ ලකුණු 109ක් ලබා සිටි අතර ඔහුව දවා ගැනීමෙන් පසුව Curran පිතිකරුවා අසලට පැමිණ සීමාව ඉක්මවා සිය සතුට සමරන ආකාරයක් දැක ගන්නට ලැබුණා.

මෙම සිදුවීම පිළිබඳව පිටියේ විනිසුරුවන් විසින් වාර්තා කිරීමෙන් පසුව තරග තීරක ලෙස කටයුතු කළ Jeff Crowe මෙම දඬුවම පනවා තිබෙන අතර Curran මෙම වරද පිළිගැනීම නිසා එය සඳහා විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බව ද දන්වා තිබුණා.

මෙම සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ, Curran ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියට අනුව පළමු කාණ්ඩයේ වරදක් සිදු කර ඇති බවයි.

“දැවී ගිය පිතිකරු Bavumaගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හැකියාවක් ඇති අයුරින් ඔහු අසලට ගොස් සීමාව ඉක්මවා කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරීම”, යැයි එම නිවේදනයේ ඔහුගේ වරද ලෙස සඳහන් වුනා.

Curran මෙලෙස දඬුවම් ලකුණක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මාස 24ක් තුළ ඔහු දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වඩා ලබා ගතහොත් ඔහුට තරග තහනමක් ලක්වීමට සිදු වෙනවා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<