ශ්‍රී ලංකා කාන්තා ලෝක කුසලාන සංචිතය නම් කරයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

247

මෙම මාසයේ (පෙබරවාරි) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර 2022 වසරේ විස්සයි විස්ස සංචිතයට නම් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත්.

කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වන හසිනි පෙරේරා මෙම සංචිතය සඳහා නම් කර තිබුනත්, පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසා ඇයට තරගාවලිය අහිමි වෙනවා.

ඒ අනුව ඇයගේ ස්ථානය සඳහා සත්‍යා සංදීපනී කණ්ඩායමට ආදේශ කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඉල්ලා අස්වීමෙන් පසුව කණ්ඩායම රුමේෂ් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කර ඇති අතර ලෝක කුසලානය සඳහා පිටත් වන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කිරීමට බොහෝ ඉඩක් පවතී.

  • තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, හසිනි පෙරේරා (ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර ඇත), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා, සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත)

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙබරවාරි 06 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 08 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව – පෙබරවාරි 10
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – පෙබරවාරි 12
  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව – පෙබරවාරි 16
  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය – පෙබරවාරි 19

2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි 10 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<