සදීෂ් සහ පුලිඳු ශතක අතරට; විහාරගෙන් කඩුලු 5ක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

793
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (10) ක්‍රියාත්මක වුනා.

එහි දී Tier A කොටසේ තරග දෙකක් සහ Tier B කොටසේ එක් තරගයක් ක්‍රියාත්මක වුනු අතර එම තරගවලින් ධර්මරාජ, ත්‍රිත්ව සහ ගුරුකුල විද්‍යාල ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා. එම තරගවල දී ඔවුන් හමුවේ පිළිවෙළින් සහිරා, රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පරාජයට පත් වුනා.

සහිරා සහ ධර්මරාජ විදුහල් අතර පැවති තරගයේ දී ධර්මරාජය වෙනුවෙන් ශතකයක් ලබාගෙන දස්කම් දැක්වීමට පුලිඳු පෙරේරා සමත් වුනා. ඔහු ලබා ගත් ලකුණු 137ට අමතරව ඉසුරු පන්නල සහ නිසල් අබේරත්න පිළිවෙළින් ලකුණු 47ක් සහ ලකුණු 29ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. පන්දු යැවීමේ දී ධර්මරාජ ඉනිම ලකුණු 267කට සීමා කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දුන් මොහොමඩ් සල්මාන් ලකුණු 70කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාල අතර පැවති තරගයේ දී තීරක රණතුංග නොදැවී ලකුණු 47*ක් ලබාගෙන ත්‍රිත්ව විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 146ක් පමණයි.

හිරුණ නිම්සර, ජනිත ශෙහාන් සහ දෙනුර දෙමන්සිත් යන ක්‍රීඩකයින් දැක්වූ සුපිරි දක්ෂතා නිසාවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් තරගාවලිය සඳහා පෙරළිකාර ආරම්භයක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලයට හැකියාව ලැබුණා.

ධර්මරාජ විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (Tier B)

ධර්මරාජ විද්‍යාලය – 267 (48.4): පුලිඳු පෙරේරා 137, ඉසුරු පන්නල 47, නිසල් අබේරත්න 29, මොහොමඩ් සල්මාන් 4/70, අබ්දුල් අසීස් 3/40

සහිරා විද්‍යාලය – 169 (42.1): රායිඩ් රොෂාන් 53, මොහොමඩ් උමේර් 45, නිසල අබේරත්න 2/23, තිසරු වන්නිනායක 2/36.

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 98ක ජයක්

ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය (Tier A)

ත්‍රිත්ව විද්‍යාලය – 191/7 (50): තීරක රණතුංග 47*, මනුල කුලරත්න 37, ජයවි ලියනගම 36, දිනූශ පීරිස් 28*, දසිස් මංචනායක 3/28, සිනෙත් ජයවර්ධන 2/30

රාජකීය විද්‍යාලය – 146 (40.1): සිනෙත් ජයවර්ධන 41, දසිස් මංචනායක 39, සංවිදු සෙනරත්ආරච්චි 31, තීරක රණතුංග 4/15, තරණ විමලධර්ම 3/21.

ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 45ක ජයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය (Tier A)

සාන්ත තෝමස් විද්‍යාලය – 142 (46.2): රොමේෂ් මෙන්ඩිස් 46, ආකාශ් ප්‍රනාන්දු 26, හිරුන නිම්සර 3/15, ජනිත ශෙහාන් 3/21, පූර්ණ කල්හාර 2/14.

ගුරුකුල විද්‍යාලය – 146/5 (47.3): දෙනුර දෙමන්සිත් 44, ජනිත ශෙහාන් 28, ජනිත් මිහිරංග 20*, චාරුක පීරිස් 2/17, ආකාශ් ප්‍රනාන්දු 2/24.

ගුරුකුල විද්‍යාලයට කඩුලු 5ක ජයක්

මේ තරග කිහිපයට පෙර Tier A කොටසේ තරග 4ක් සහ Tier B කොටසේ තරග 3ක් ක්‍රියාත්මක වුනු අතර එහි දී සාන්ත ජෝසප්, සාන්ත සෙබස්තියන්, රිච්මන්ඩ්, සාන්ත බෙනඩික්ට්, සාන්ත සර්වේසස්, ආනන්ද සහ ගාල්ල සාන්ත ඇලෝසියස් යන  විද්‍යාල ජයග්‍රහණ ලබා ගත්තා.

එහි දී සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක සහ කඩුලු රකින පිතිකරු සදීෂ් ජයවර්ධන ශතකයක් ලබාගෙන තරගාවලියේ පළමු ශතකය වාර්තා කර ගත් අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක විහර අත්තනායක තරගාවලියේ පළමු කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත්තා.

පාසල් ක්‍රිකට් පිටියේ ඉදිරි තරගවල තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<