19න් පහළ සුපිරි පළාත් බාලිකා කිරුළ කොළඹ දකුණට

19න් පහළ බාලිකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

140

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරු සොයා යන ගමනේ තවත් එක් සංධිස්ථානයක් ලෙස පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ බාලිකා යොවුන් ලීග් ක්‍රිකට්  තරගාවලියේ අභිනව ශූරියෝ බවට පත්වීමට කොළඹ දකුණ කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. 

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ගාල්ල කණ්ඩායම කඩුලු 8ක පරාජයකට ඇද දැමූ නෙත්මි සේනාරත්න ප්‍රමුඛ කොළඹ දකුණු ක්‍රීඩිකාවන් ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 3ක ජය මල්ලක් දිනා ගන්නට ද සමත් වුනා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 19.5ක දී ලකුණු 81කට සීමා කිරීමට කොළඹ දකුණු ක්‍රීඩිකාවන් සමත් වුනා. ඉලක්කය හඹා යෑමේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නෙත්මි සේනාරත්න පන්දු 44ක දී නොදැවී ලකුණු 50*ක් වාර්තා කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

එම ඉනිමට 4 පහර 6ක් ද ඇතුළත් වුනු අතර කඩුලු රැකීමේ දී ස්ටම්ප්ස් කිරීමක් ද සිදු කළ නෙත්මි අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

පන්දු යැවීමේ දී පෙරමුණ ගත් නවෝද්‍යා ජයසිංහ පන්දුවාර 3කුත් පන්දු 5ක දී ලකුණු 10ක් ඇතුළත කඩුලු 3ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් පෙරමුණ ගත්තා.

ඇයට අමතරව තරුෂි ප්‍රනාන්දු, මනුදි නානායක්කාර සහ මිහිදි සනුදිනී කඩුලු 3 බැගින් දවා ගත්තා.

ගාල්ල කණ්ඩායම පන්දුවට පහර දීමේ දී කිසිවකුට ලකුණු 12 සීමාව ඉක්මවාලීමට ප්‍රතිවාදී කොළඹ දකුණ පන්දු යවන්නියන් ඉඩ දුන්නේ නැහැ. ගාලු කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි සහ සසිනි ගිම්හානි ලකුණු 12 බැගින් ලබා ගත්තා.

ශූරතාවය දිනූ කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිතව මෙම තරගාවලියේ ශූරියෝ බවට පත්වීම කැපී පෙනුණා.

  • ගාල්ල – 81 (19.5): සංජනා කාවින්දි 12, සසිනි ගිම්හානි 12, සුමුදු නිසංසලා 10, පමෝදා ශයිනි 10, නවෝද්‍යා ජයසිංහ 3/10, මිහිදි සනුදිනී 2/12, තරුෂි ප්‍රනාන්දු 2/15, මනුදි නානායක්කාර 2/22.
  • කොළඹ දකුණ – 82/2 (13.2): නෙත්මි සේනාරත්න 50*, රසිනි පෙරේරා 13

තරගාවලිය අවසානයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් පත්කොට සිටින උපදේශක, සංවර්ධන සහ මෙහෙයුම් ප්‍රධානී මනුජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අධි කාර්යසාධන අංශ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

ඔවුන්ට අමතරව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාවක වන වර්තමානයේ උසස් තාක්ෂණ අංශයේ වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ පුහුණුකාරිණියෙකු ලෙස කටයුතු කරන ශෂිකලා සිරිවර්ධන සහ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිණි ඉන්ද්‍රානි ආරියරත්න යන මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වුනා.

මෙම ජය සංකේත ප්‍රදානයේ දී තරග 6ක දී කඩුලු 15ක් බිඳ හෙළු කොළඹ දකුණ කණ්ඩායමේ නිපුණි නවෝද්‍යා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස සම්මාන දිනා ගනිද්දී, දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය, තරග 5ක දී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 36.67ක් රඳවා ගනිමින් ලකුණු 110ක් ලබා සිටි, ගාල්ල කණ්ඩායමේ සුමුදු නිසංසලා විසින් දිනා ගන්නට සමත් වුනා.

සමස්ත තරගාවලිය පුරා තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 105ක් සහ කඩුලු 9ක් දවා ගත් දඹුල්ල කණ්ඩායමේ දෙව්මි විහංගා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තා.

  • අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි සේනාරත්න(කොළඹ දකුණ) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය – සුමුදු නිසංසලා (ගාල්ල) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – නිපුණි නවෝද්‍යා (කොළඹ දකුණ) – (කුසලාන + රු. 50,000/=)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – දෙව්මි විහංගා (දඹුල්ල) – (කුසලාන + රු. 75,000/=)
  • අනුශූරතාව – ගාල්ල – (අනුශූරතා කුසලාන + රු. 200,000/=)
  • ශූරතාව – කොළඹ දකුණ – (ශූරතා කුසලාන + රු. 200,000/=)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<