ජනිත් ලියනගේ සිම්බාබ්වේ කණ්ඩායම වනසා දමයි

677
Janith Liyanage

23 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ජනිත් ලියනගේ විසින් ලබා ගත් කඩුලු ත්‍රිත්වය සමඟින් වූ කඩුලු 7 සහ පිතිකරුවෙක් ලෙසින් රැස් කරන ලද අර්ධ ශතකය ද සමඟින් 6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ අතර එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 151ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

>> ශ්‍රී ලංකාව පහසුවෙන්ම බංගලියෝ පරාජය කරති

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කරගනිමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 6ක් දැවී ලකුණු 179කි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ අතිරේක ලකුණු 11ක් ද සමඟින් ලකුණු 28ක් පමණි. ඒ තරගය නිමා වෙද්දී තවත් පන්දු 67ක් ඉතිරිව තිබිය දී ය.  

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මලිඳු මදුරංග සහ පසිඳු ලක්ෂාන් එක්ව රැස් කළ ලකුණු සංඛ්‍යාව 44කි. එම ලකුණු සංඛ්‍යාව ලකුණු පුවරුවට පැමිණෙද්දී පසිඳු ලකුණු 10ක් ලබා සිටිය දී දැවී ගියේ ය. දෙවැනි කඩුල්ල ලෙසින් මළිඳු පන්දු 30කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

අනතුරුව හෂාන් දුමිඳු සහ ජනිත් ලියනගේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. හෂාන් පන්දු 31කට මුහුණ දී කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 25කට දැවී ගිය අතර ජනිත් ලියනගේ පන්දු 31කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේ ය.

අනෙක් පිතිකරුවන් වූ මධුශාන් රවිචන්ද්‍රකුමාර් (11), මිෂේන් සිල්වා (03), සුපේෂල ජයතිලක (10*) සහ කොෂාන් දනුෂ්ක (00*) ද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට දායකත්වය දුන්හ.

කඩුලු ලබා ගැනීමේ දී ටවන්ඩා චරුම්බිරා ලකුණු 19කට කඩුලු 3ක් සහ අනේලි නුග්වෙන්ගා කඩුලු 2ක් ලබා ගත්හ.

ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී ම ලබා ගැනීමට ජනිත් ලියනගේ සමත් විය. අනතුරුව ඔහු විසින් යැවුණ දෙවැනි පන්දු වාරයේ 2 වැනි පන්දුවේ දී ද කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත් විය. ඒ වෙද්දී සිම්බාබ්වේ ඉනිම ලකුණු 15 නතර වී තිබුණි.

එම පන්දු වාරයේම සිව්වැනි පන්දුවේ සිට පන්දු වාරය අවසන් වෙද්දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ජනිත් සමත් විය. ඔහුගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වූයේ ඩුන්කන් ෆින්ඩි (00), බිල් කවම්බනා (02) සහ අනෙලි නග්වෙන්‍යා (00) ය. එම පන්දු වාරය නිමාවේ දී කඩුලු 4ක් දවා ගත් ජනිත් ලියනගේ අනතුරුව ඉනිමේ යැවුණ 7 වැනි පන්දු වාරයේ දී ද කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ඔහු තරගය අවසන් වෙන විට පන්දු වාර 4ක් යවා එක් නොයිඉඳුල් පන්දු වාරයක් සමඟින් ලකුණු 06කට කඩුලු 7ක් දවා ගත්තේ ය.  

සිම්බාබ්වේ ඉනිමේ කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව ආසන්නයට හෝ පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. ඒ අතුරින් වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 14කට මුහුණ දී ලකුණු 8ක් ලබා ගත් මෂින්ගයා මොලොන්ගුවා ය.

ජනිත්ට අමතරව කඩුලු ලබා ගැනීමේ දී කොෂාන් ධනුෂ්ක එක් ලකුණකට කඩුලු 2ක් ද ඩෙවින් පත්මනාදන් කඩුල්ලක් ද දවා ගත්තේ ය.

ශ්‍රී ලංකාව; කඩුලු 6ක් දැවී 179 (20.0): මළිඳු මදුරංග 30, හෂාන් දුමිඳු 25, ජනිත් ලියනගේ 66, ටවන්ඩා චරුම්බිරා 3/19, අනේලි නුග්වෙන්ගා 2/27

සිම්බාබ්වේ; සියලුම දෙනා දැවී 28 (8.5): මෂින්ගයා මොලොන්ගුවා 8, ජනිත් ලියනගේ 7/06, කොෂාන් දනුෂ්ක 2/01

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය  ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් දැවී ලකුණු 144ක් ලබා ගත්හ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් වැඩියෙන්ම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ මෙහෙදි අසාරියා ය. ඔහු පන්දු 35කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තේ ය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ඕම්කර් කහට්පෙ පන්දු 24ක දී ලකුණු 28ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, ශුඡාම් නගවඩ් පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මෙහෙදි අසරියා ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තේ ය.  

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය; කඩුලු 8ක් දැවී 139 (20.0): ඉමාඩ් මුශ්ටාක් 29, මෙහෙදි ආසාරියා 30, සයෙඩ් ෆයිෂාන් අහමඩ් 27, ශුභාම් ටයිස්වාල් 2/17, දිව්‍යාන්ග් හින්ගෙකාර් 2/21

ඉන්දියාව; කඩුලු 7ක් දැවී 144 (18.1): ඔම්කර් කහට්පෙ 28, ශුභාම් නගවඩ් 22, යශ් නාහර් 19, මෙහෙදි අසරියා 5/22

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත…

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිම ලකුණු 156කට සීමා විය. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 107ක් පමණි. ඒ තවත් පන්දු 19ක් ඉතිරිව තිබිය දී ය.

පාකිස්තාන ඉනිමේ කැපි පෙනෙන පිතිකරු වූයේ කුරාම් ශාෂාඩ් ය. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශාෂර් හසන් පන්දු 15ක දී ලකුණු 32ක් ලබා ගත්තේ ය. එම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.

පාකිස්තානය වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 128ක්ව තිබුණ ද, 6 වැනි කඩුල්ල ලකුණු 144 දී බිඳ වැටීමත් සමඟින් තවත් කඩුලු 2ක් පන්දු 3ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී  රහි හසන් සහ අරිෆුල් රහමන් කඩුලු 3 බැගින් දවා ගත්හ.  

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවක් එක් කිරීමට ඉන්ෂමාම්උල් හක් (25) සහ ශබාබ් ජමිල් (23) සමත් වූ අතර අබ්දුල්ලා සේකෝ ලකුණු 15ක් ලබා ගැනීමට ද සමත් විය. අනෙකුත් පිතිකරුවන් කිසිවෙක්ට ලකුණු 10 පැන්නීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

කඩුලු ලබා ගැනීමේ දී මුහම්මඩ් අසාඩ් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත් අතර කුරම් ශාෂාඩ් සහ මහමූඩ් අලි කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

පාකිස්තානය; සියලුම දෙනා දැවී 156 (19.3): ශාෂර් හසන් 32, කුරාම් ශාෂාඩ් 58, රහිත හසන් 3/26, අරිෆුර් රහමන් 3/28  

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 107 (17.5): ඉන්සමාම් උල් හක් 25, ශබාබ් ජමිල් 23,  මුහම්මඩ් අසාඩ් 3/10, කුරම් ශාෂාඩ් 2/12, මහමූඩ් අලි 2/20

තරගාවලියේ තවත් තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<