සිරිකුරුස සහ කුලරත්න දෙවැනි පෙළ ශූරතා දිනා ගනී

19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

387

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ  දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සමත් වුනා.

Tier A කාණ්ඩය නියෝජනය කළ සිරිකුරුස ක්‍රීඩකයෝ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහි අවසන් මහා තරගයේ දී කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් එකී කාණ්ඩයේ ශූරතාව දිනා ගත් අතර Tier B කාණ්ඩය නියෝජනය කළ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ක්‍රීඩකයෝ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එම කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.

Tier A කාණ්ඩය

ජයග්‍රාහී සිරිකුරුස විද්‍යාලය තම පළමු වටයේ තරග 8න් 6ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී තරග 2කින් පරාජය වීමට සිදු වුනා.

ඒ අනුව ඔවුන් පානදුර සාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ද, මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ද, කැළණිය ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ද, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ද සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද ලබා ගන්නවා.

වත්තල ලයිසියම් විද්‍යාලය වෙතින් ලකුණු 40ක පරාජයක් ලබා ගන්නා ඔවුන් නුවර විද්‍යාර්ථ විද්‍යාලය වෙතින් ද කඩුලු දෙක පරාජයකට පත් වෙමින් පළමු වටය අවසන් කරනවා. එම ප්‍රතිඵලත් සමඟින් සිරිකුරුස ක්‍රීඩකයෝ පළමු වටයේ දී ශ්‍රේණිගත වන්නේ තෙවැනි ස්ථානයට පත් වෙමින්.

ඒ අනුව ඔවුන් මුහුණ දුන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 69ක ජයග්‍රහණයක් කරමින් තරගාවලියේ තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදා කර ගන්නවා.

ඒ අනුව ඔවුන්ට අවසන් පූර්ව වටයේ දී නැවත වතාවක් හමුවෙන්නේ පසුගිය වසරේ Tier A කොටසේ ශූරයන් වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයි. එම තරගයේ දී කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙන සිරිකුරුස ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

සිරිකුරුස විද්‍යාලය අවසන් මහා තරගය තෙක් ආ ගමනේ දී රශේන් කේතක ලකුණු 219ක් ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් ඉහළ දක්ෂතා දැක්වූවා. ඊට අමතරව සනුක වෙරාන් ලකුණු 187ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී පසිඳු විමංස කඩුලු 20ක් දවා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු අසුන හිමිකර ගත්තා. ඔහු අවසන් මහා තරගයේ ද ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් කාගේත් අවධානයට ලක් වුනා.

කඩුලු ලබා ගත් අය අතර දෙවැනි ස්ථානය හංසජ බ්‍රයන් කඩුලු 16ක් ලබා ගනිමින් හිමිකර ගත් අතර ආකාශ් දෙව්මින කඩුලු 14ක් ලබා ගනිමින් එහි තෙවැනි ස්ථානයට පත් වුනා.

  • ජයග්‍රාහී කළුතර සිරිකුරුස විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ සංචිතය: සසිඳු කෞෂාන් (නායක), දේශාන් පෙරේරා (උප නායක), හංසජ බ්‍රයන්, කේතක සිල්වා, පසිඳු විමංස, සොනාල් පෙරේරා, හිවේන් කෙනුල, දේව්මින ප්‍රනාන්දු, හංසක ප්‍රනාන්දු, චෙරාන් සිල්වා, ගිම්හාන් ප්‍රනාන්දු, නෙත්රු සිල්වා, සත්සර ගමගේ, අභිශේක් සමරවීර, ස්ටීව් රොෂාන්, ගයන්ත නදීශ, දේශාන් ද සිල්වා, තරුක්ෂ සිල්වා, ස්ටීව තිසේරා, විශ්මිත ප්‍රනාන්දු.
  • නිලධාරීන්: ප්‍රසාද් නිරංජන් පියතුමා (විදුහල්පති) මලින්ත චතුරංග පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය) කේ. ඩී. එස්. පී. සමන්ත (කණ්ඩායම් භාර නිලධාරී) නිමල් දාබරේ (පුහුණුකරු) ලක්ෂිත රණසිංහ (සහාය පුහුණුකරු)

 

Tier B කාණ්ඩය

මෙම කොටසේ අවසන් මහා තරගය සඳහා අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් පසුගිය වසරේ ද මෙම කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා. කෙසේ වෙතත් එම වසරේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ අතර ඔවුන් වෙත සම ශූරතා හිමි වුනා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලය තරගාවලියේ පළමු වටය, තරග 8න් 6ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් වෙන ඉතිරි තරග 2 පරාජය වෙමින් අවසන් කරනවා.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය එරෙහිව ලකුණු 157ක ජයග්‍රහණයක්, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ලකුණු 130ක ජයග්‍රහණයක්, හලාවත සාන්ත මරියා විද්‍යාලය එරෙහිව ලකුණු 157ක ජයග්‍රහණයක්, හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 102ක ජයක් වාර්තා කරන ඔවුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය වෙතින් පරාජයට පත් වෙනවා.

එම ප්‍රතිඵලත් ඔවුන් තරගාවලියේ පළමු වටය නිමා කරන්නේ තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වෙමින්.

ඒ අනුව ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටය සඳහා හමුවෙන්නේ ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයයි. ඔවුන් සමඟ පහසුවෙන් ජයග්‍රහණය කරන පී. ද එස්. කුලරත්න ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට පිවිසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය සමඟයි. එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය කරන ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය තෙක් පැමිණි ගමනේ දී කණ්ඩායමේ ගැලවුම්කර පිතිකරු වූයේ රවිශ්ක නෙත්සරයි. ඔහුගේ ඉනිම් අතර හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 13ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 162ක් ද ඇතුළත්.

ඊට අමතරව හිරුෂ දෙව්මික, මහීෂ ප්‍රභාෂන සහ ලශේන් වනිඳු  පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී ශකිල හංසක කඩුලු 20ක් දවා ගන්නා ලද අතර අවසන් මහා තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට ලශේන් වනිඳු සමත් වීම කැපී පෙනුණා.

  • පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම: හිරුෂ දෙව්මික (නායක) රවිශාන් නෙත්සර, ලශේන් වනිඳු, මහීෂ ප්‍රභාෂන, ධනුශ්ක මධුසංක, සසිඳු කෞෂාන්, මතීෂ දුලංජන, අකිල චතුරංග, අසින්ත රශ්මික, ජනිඳු චාමික, ශකිල හංසක, බානු ද සිල්වා, ඔසඳ ටෙහාන්, සසිඳු ගුණරත්න, ශවිඳු ආකාශ්, මොවිඳු විනෝද්
  • නිලධාරීන්: ජගත් සේනාරත්න (විදුහල්පති), ගාමිණි ද සිල්වා (සම්බන්ධීකාරක) ආර්. එම්. එස්. සොයිසා (ක්‍රිකට් භාර ආචාර්ය) ජයන්ත ජයවීර (ප්‍රධාන පුහුණුකරු) ලහිරු ශනික (සහාය පුහුණුකරු) ලකිල ටෙහාන් (සහාය පුහුණුකරු)

වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනූ කළුතර සිරිකුරුස විද්‍යාලයට සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<