Home Sinhala රාජිතගේ විශිෂ්ට පන්දුකරණය දඹුල්ලේ රැස් බස්සයි

රාජිතගේ විශිෂ්ට පන්දුකරණය දඹුල්ලේ රැස් බස්සයි

139

පිතිකරුවන්ට වැඩි වාසි ලැබෙන පරිදි නිර්මාණය කර ඇති විස්සයි විස්ස තරග රටාව තුල ඒ සියල්ල අභිබවා පන්දු යවන්නෙකුට කැපී පෙනීම පහසු කටයුත්තක් නොවේ. ඉඳහිට හෝ දකින එවන් විරල සිදුවීම්වල දී ද බොහෝ විට මතුවී පෙනෙන්නේ දඟපන්දු යවන්නෙකි.

නමුත් අද (14) පල්ලෙකැලේ දී පැවති Dambulla Aura සහ Colombo Stars අතර තරගයේ දී කසුන් රාජිත තනිවම තරගයේ පාලනය සියතට ගත්තේ ලකුණු 22කට Dambulla කණ්ඩායමේ ඉදිරිපෙළ වටිනාම කඩුලු 5ක් දවා ගනිමිනුයි. මේ නිසාම Stars කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් ද හිමි වුනා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo Stars : නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, නවෝද් පරණවිතාන, Ravi Bopara, Benny Howell, Karim Janat, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ.

Dambulla Aura : ලසිත් කෲස්පුල්ලේ, ශෙවෝන් ඩැනියෙල්, Jordan Cox, භානුක රාජපක්ෂ, Tom Abell, දසුන් ශානක, Noor Ahmed, චතුරංග ද සිල්වා, Van Meekeren, ප්‍රමෝද් මදුශාන්, ලහිරු කුමාර.

කාසියේ වාසිය දිනා ගත් ඇන්ජලෝ මැතිව්ස් අදත් සුපුරුදු පරිදි තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි. ඒ අනුව Stars වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ කසුන් රාජිත තම පළමු පන්දුවෙන්ම ලසිත් කෲස්පුල්ලේගේ කඩුල්ල බිඳ දමමින් දඩයම ආරම්භ කළා.

එතකින් නොනැවතුනු ඔහු අනෙක් ආරම්භක පිතිකරුවා වන ශෙවෝන් ඩැනියෙල්වත් පිටියෙන් ඉවත් කරන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනුයි. එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමට ශෙවෝන් හිතුවක්කාර තීරණයක් ගත්ත ද, එය අනිවාර්ය දැවී යාමක් ලෙස පුනරූපනවලින් පැහැදිලි වුනා.

භානුක රාජපක්ෂ පැමිණි විගස හතරේ පහරක් එල්ල කළ ද, නැවත වරක් වැරෙන් පහර දීමට උත්සාහ කළ ඔහු පන්දු රකින චන්දිමාල් හට උඩපන්දුවක් තිලිණ කළා. ඒ සුරංග ලක්මාල්ට කඩුල්ල හිමිකර දෙමිනුයි.

Tom Abell අද කිසිදු ලකුණක් රැස් කිරීමට පෙරම රාජිත යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියා. මේ වනවිට Dambulla Aura ඉනිම සටහන් වූයේ ලකුණු 16ට කඩුලු 4ක් ලෙසයි.

Jordan Cox අද හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටිය දී තර්ඩ්මෑන් කලාපයට ඉහළින් එල්ල කිරීමට ගිය පන්දුව සුරංග ලක්මාල් සුරැකිව රැක ගත්තේ රාජිතට සිව්වැනි කඩුල්ලත් හිමිකර දෙමිනුයි.

දසුන් ශානක පිටියට පිවිසි විගස Stars නායකයා ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු යැවීමට හඳුන්වා දුන් අතර අහස් කූරක් සේ ඉහළ නැගුණු පන්දුව Ben Howell රැක ගැනීමත් සමඟ දසුන් දැවී ගියේ ලකුණු 20කටයි.

නූර් අහමඩ් එම පන්දුවාරයේ දී ම දැවී ගිය නිසා මෙය LPL ඉතිහාසයට එක් වුනේ පවර්ප්ලේ පන්දුවාර 6 තුල දී කඩුලු 7ක් දැවී ගිය පළමු සහ එකම අවස්ථාව ලෙසයි. රාජිත හොඳින් පන්දු යවන මොහොතේ ඔහුගේ පන්දුවාර 4ම එක දිගට ක්‍රියාත්මක කිරීමට නායක මැතිව්ස් ගත් පෙරළිකාර තීරණයට ඔහු සාධාරණය ඉටු කළේ තම පස්වැනි කඩුල්ලත් දවා ගනිමිනුයි.

කෙසේ වෙතත් අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රමෝද් මදුශාන් නොදැවී රැස්කළ ලකුණු 23 නිසා Aura කණ්ඩායමට ලකුණු 89ක් රැස් කිරීමට හැකි වුනා. කෙසේ වෙතත් මෙය LPL ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ. එම අපකීර්තිමත් වාර්තාවේ මුල් ස්ථානයත් (ලකුණු 69) ගිය වසරේ හිමිකර ගත්තේ Dambulla කණ්ඩායමයි.

කෙසේ වෙතත් ඉනිම නිමාවීමට තවත් සම්පූර්ණ පන්දුවාර 6ක්ම ඉතිරිව පැවති නිසා අවසන් පිතිකරුවා වූ ලහිරු කුමාර කඩුල්ල ආරක්ෂා කර ගත්තා නම් අනෙක් අන්තයේ සිටි ප්‍රමෝද් මදුශාන්ට Aura ඉනිම ලකුණු සියයේ සීමාවට ගෙන යාමට ද අවස්ථාවක් තිබුණා. නමුත් විශාල පහරවල් කරා යාමට උත්සාහ කළ කුමාර ඒ පිළිබඳව සළකා බැලුවේ නැහැ.

ලකුණු 90ක පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Stars කණ්ඩායමේ පළමු කඩුල්ලත් පළමු පන්දුවේ දී ම දැවී ගියා. ප්‍රමෝද් මදුශාන් යැවූ එම කඩුල්ල තුලට දෝලනය වූ පන්දුවට ගොදුරු වුනේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලයි.

මෙම කඩුල්ලත් සමඟ Dambulla ක්‍රීඩකයින් බොහෝ සතුටු වුව ද, එය වැඩි වේලාවක් පැවතියේ නැහැ. ඒ දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක නොබිඳුණු සබඳතාවයක් සමඟින් තරගය අවසන් කළ නිසයි.

ක්‍රමයෙන් තම රිද්මය හඳුනා ගනිමින් සිටින චරිත් අසලංක අද සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 36ක දී නොදැවී ලකුණු 58ක් රැස්කර ගනිමිනුයි. අසලංකගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

ඊයේ දිනයේ තරම් ප්‍රවේගකාරී ඉනිමක් ගොඩ නැගීමට අපොහොසත් වුවත් චන්දිමාල් ඉනිම පුරාවට නොදැවී සිටිමින් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුනා. ඒ පන්දු 32කට මුහුණ දෙමිනුයි. චන්දිමාල් අද හතරේ පහර 3ක් එල්ල කළා. Stars ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ තවත් පන්දුවාර 8.3ක් ඉතිරිව තිබිය දීයි.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් Aura ඉනිම සුනුවිසුනු කර දැමූ කසුන් රාජිතට හිමි වුනා. ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය පසු Colombo Stars ක්‍රීඩකයින් ඉනිම ගොඩ නැංවූ අයුරු Dambullaට ආදර්ශයට ගත හැකි නම් ඉතිරි වී ඇති තරගවල දී හෝ යම් තරමක ගෞරවයක් උපයා ගැනීමට හැකි වනු ඇති.

මේ වන විට තරග 5ක් ජයගෙන සිටින Kandy Falcons ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර Jaffna Kings, Colombo Stars සහ Galle Gladiators කණ්ඩායම් පිළිවෙළින් ප්‍රසාද ලකුණු 8, 6 සහ 4 බැගින් ලබාගෙන සිටිනවා. තරග 5කට පසුවත් Dambulla Aura කිසිදු ජයක් තම නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට සමත් වී නැහැ.

Result


Colombo Stars
90/1 (11.3)

Dambulla Aura
89/10 (13.5)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle lbw b Kasun Rajitha 0 1 0 0 0.00
Shevon Daniel lbw b Kasun Rajitha 0 3 0 0 0.00
Jordan Cox c Suranga Lakmal b Kasun Rajitha 16 9 3 0 177.78
Bhanuka Rajapaksha c Dinesh Chandimal b Suranga Lakmal 4 4 1 0 100.00
Tom Abell b Kasun Rajitha 0 2 0 0 0.00
Dasun Shanaka c Benny Howell b Jeffrey Vandersay 20 11 1 2 181.82
Noor Ahmad  c Nawod Paranavithana b Jeffrey Vandersay 2 4 0 0 50.00
Chathuranga de Silva run out (Niroshan Dickwella) 11 11 1 0 100.00
Paul van Meekeren c Ravi Bopara b Kasun Rajitha 0 6 0 0 0.00
Pramod Madushan not out 23 26 3 0 88.46
Lahiru Kumara b Karim Janat 1 6 0 0 16.67


Extras 12 (b 0 , lb 4 , nb 0, w 8, pen 0)
Total 89/10 (13.5 Overs, RR: 6.43)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 22 5 5.50
Suranga Lakmal 3 0 33 1 11.00
Jeffrey Vandersay 4 0 10 2 2.50
Karim Janat 2.5 0 20 1 8.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Pramod Madushan 0 1 0 0 0.00
Dinesh Chandimal b 31 32 3 0 96.88
Charith Asalanka b 58 36 5 4 161.11


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 90/1 (11.3 Overs, RR: 7.83)
Bowling O M R W Econ
Pramod Madushan 2 1 3 1 1.50
Paul van Meekeren 2 0 24 0 12.00
Noor Ahmad  3.3 0 25 0 7.58
Lahiru Kumara 3 0 27 0 9.00
Chathuranga de Silva 1 0 11 0 11.00



LPL තරගාවලියේ පල්ලෙකැලේ හිදී පැවති තරග අදින් නිමාවට පත්වන අතර අවසන් අදියර වෙනුවෙන් කණ්ඩායම් සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට සංක්‍රමණය වීමට නියමිතයි. දින 2ක විවේකයකින් අනතුරුව ලබන 17 වැනිදා Dambulla Aura සහ Galle Gladiators අතර තරගය සවස 3ටත්, Kandy Falcons සහ Colombo Stars අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වනු ඇති.

එම සියලු තතු විත්ති එසැණින් ඔබ වෙත සමීප කරවීමට ThePapare.com සූදානම්! රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<