දෙවන දිනය වර්ණවත් කල විශාල්ගේ පිතිකරණය

819
Sri Lanka A vs West Indies A 2nd test match day 2 report

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ඊයේ (11) මහනුවර පල්ලේකැලේ පිටියේදී ආරම්භ වූ දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළ විශාල් සිං ඇතුළු කොදෙව්වන් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් නිමාවට පත් වූ අතර අද (12) එම තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: පළමු දිනයේ ආධිපත්‍යය කොදෙව්වන්ට

කොදෙව් කණ්ඩායම තම පළමු ඉණිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු  331ක් ලබා සිටින විට පළමු දිනය අවසන් වූ අතර විශාල් සිං නොදැවී ලකුණු 81*ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියේය.

පළමු දිනය තුල නොදැවී ලකුණු 51*ක් ලබාගත් ආබාධයකට ලක්වූ රජේන්ද්‍ර චන්ද්‍රික හා විශාල් සිං, අද දිනයේ තරඟය අරම්භ කිරීමට පිටියට පිවිසුනි. ඔවුන් දෙදෙනාගේ සබඳතාවය කොදෙව් ලකුණු පුවරුව ලකුණු 385 දක්වා රැගෙන ගිය අතර රජේන්ද්‍ර ලකුණු 84කට දවාලීමට ජෙෆ්රි වැන්ඩර්සේ සමත් විය.

7වන කඩුල්ල සඳහා පිටියට පිවිසි පන්දු යවන ක්‍රීඩක කෙමාර් රොච් සමඟ යළිත් පිටියේ ස්ථාවර වූ විශාල් සිං ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම ඉණිම තුල දක්ෂ පන්දු යැවීමක නිරත වූ චරිත් අසලංක එම සබඳතාවයට තිත තැබීමට සමත් විය. ඒ 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි රොච් ව දවාලමිනි.

අවසානයේ කොදෙව් පළමු ඉණිම ලකුණු 500කට එහා ගෙනයමින් දැවැන්ත අභියෝගයක් ලබාදීමට විශාල දායකත්වයක් දුන් විශාල් සිං 4 පහරවල් 16ක් සමඟින් ලකුණු 161ක් ලබා ගන්නා ලදි. ඔහුගේ කඩුල්ල දවාගැනීමට චරිත් අසලංක සමත් වූ අතර ඔහු 9වන කඩුල්ල ලෙස දැවීයාමත් සමඟින් කොදෙව් පළමු ඉණිම අත්හිටුවීමට කොදෙව්වෝ තීරණය කරන ලදි.

කොදෙව් A පළමු ඉණිම – 509/9 dec (137.4): විශාල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රජේන්ද්‍ර චන්ද්‍රික 84, ශිම්රන් හේට්මයර් 48, චරිත් අසලංක 4/104, දිමුත් කරුණාරත්න 1/6

ශ්‍රී ලංකා පළමු ඉණිම ආරම්භ කල නායක දිමුත් කරුණාරත්න හා අවිශ්ක ප්‍රනාන්දුගේ ආරම්භක සබඳතාවය, පළමු ඉණිමට සාර්ථක අඩිතාලමක් ගොඩනැඟීමට අපොහොසත් වූ අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 19කට සීමා කරමින් අවිශ්ක ලකුණු 7කට දැවීයන ලදි. අනතුරුව ක්‍රියාත්මක වූ කොදෙව් A පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ මුල් කොටස ලකුණු 37ක් තුල දවාලීමට සමත් වූ අතර, ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දැවීගොස් තිබුණි.

අනතුරුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා පළමු තරගයේ දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වුනු දිමුත් කරුණාරත්න 5වන කඩුල්ල සඳහා දිනය නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් නොදැවී ලකුණු 91*ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් කඩා වැටුණු ඉණිම ගොඩගැනීමට සමත් වූහ. දිනය අවසන් වන විට කඩුල්ලේ රැදී සිටින දිමුත් 4 පහර 12ක් සමඟින් ලකුණු 66*ක් ද, දික්වැල්ල 4 පහර 2ක් සමඟින් ලකුණු 38*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 128/4 (40): දිමුත් කරුණාරත්න 66*, නිරෝෂන් දික්වැල්ල 38*, කියොන් ජෝශප් 2/4

ශ්‍රී ලංකා A කණ්ඩායම කොදෙව් පළමු ඉණිමට වඩා තවත් ලකුණු 381ක්  පසුපසින් සිටියි.

හෙට (13) මෙම තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට