දුමිඳුගේ ගෝල ද්විත්වයෙන් සාන්ත ජෝසප් අවසන් පූර්ව වටයට

ThePapare පාපන්දු ශූරතාවය 2022

340

පාසල් පාපන්දු පිටියෙහි ශූරයින් කිරුළු පළඳින ThePapare පාපන්දු ශූරතාවයේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් පරදවා ජය ලැබීමට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ සාන්ත තෝමස් සත්කාරක ක්‍රීඩා පිටිය වූ මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 2-0ක් ලෙසයි.

ආරම්භයේ සිටම සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් ගෝල වාර්තා කරගැනීමට තිබූ පහසු අවස්ථා කිහිපයක්ම ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් මඟ හැරී ගියා.

එම අර්ධය තුළ ගෝල වාර්තා කරගැනීමට දෙපිළටම නොහැකි වූවත් ඉතා උණුසුම් අර්ධයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවක් ගත වෙද්දී ජෝසප් ඉදිරි පෙළ ක්‍රීඩක ඇන්ඩෲ සිදුකළ වරදක් නිසාවෙන් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමට සිදුවුනේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට වැදගත් තරගයක් තුළ ප්‍රහාරකයෙකු අහිමි කරමිනුයි.

නමුත් ඇන්ඩෲගේ අඩුව සිය කණ්ඩායමට දැනීමට ඉඩ නොදුන් දුමිඳු ආධිත්‍ය තරගයේ 67 වැනි මිනිත්තුවේ දී ගෝලයට මදක් ඉදිරියෙන් ලබාගත් පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කළේ ප්‍රතිවාදී ගෝල රකින්නාට සිතීමට පවා ඉඩක් නොතබමින්.

තරගය අවසන් වීමට මද වෙලාවක් ඉතිරිව තිබිය දී එනම් තරගයේ අවසන් අතිරේක කාලයේ දී තේෂාන් තුෂ්මික ලබා දුන් පන්දුවක් ගෝල රකින්නා පසු කරමින් ගෝලයට එල්ල කිරීමට නැවතත් දුමිඳුට හැකි වුනා.

ඒ සමඟින් තරගය ගෝල 2-0ක් ලෙස ජය ගනිමින් අඛණ්ඩව තෙවැනි වරටත් ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

සාන්ත ජෝසප් කණ්ඩායමට අමතරව මෙවර ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩකයින් සහ යාපනය සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් 02 – 00 මාරිස් ස්ටෙල්ලා

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්,

සාන්ත ජෝසප් විද්‍යාලය: දුමිඳු ආධිත්‍ය 67’ & 90+1’  

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ල සජීවී ව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<