යාපනයේ ප්‍රහාරයෙන් ගේට්වේ බලාපොරොත්තු සුන් වෙයි

ThePapare පාපන්දු ශූරතාවය 2022

169

පාසල් පාපන්දු පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ ගේට්වේ ක්‍රීඩකයින් පරදවා ජයග්‍රහණය ලබා ගන්නට යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුනා.

යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී සුපුරුදු දස්කම් පෙන්වමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ ගෝල 3-0ක් ලෙසයි.

තරගය ආරම්භයේ සිටම සිය සුපුරුදු ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය පැතිර වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් මිනිත්තු 20 දී ලැබුණු පන්දුවක් ගෝලය අසල සිට ගෝලය තුලට එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට යාපනය ක්‍රීඩක සෙල්වරාස නිශාන්ත් සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් කෙටි වෙලාවකට පසුව යාපනය ක්‍රීඩකයින් සිය ගෝල රාමුවට එල්ල කළ පන්දුවක් වැළැක්වීමට උත්සහ කළ ගේට්වේ ක්‍රීඩක සමිල් මවුලානාගේ පාදයේ වැදුණු පන්දුව ගෝලයට යොමු වීමෙන් යාපනය ක්‍රීඩකයින්ට දෙවැනි ගෝලයත් හිමි වුනා. ඒ තරගයේ 27 වැනි මිනිත්තුවේ දීයි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ගේට්වේ ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය තුළ ද සිය ආධිපත්‍ය එලෙස ම රඳවා ගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ පත්මරාජ බාස්කරන් විසිනුයි.

යාපනය ගෝල රකින්නා විසින් දිගු පහරක් මගින් ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී දඬුවම් රාමුව තුළ දී ලබා ගෙන එය ගේට්වේ ගෝල රකින්නා පසු කරමින් ගෝලය තුළට ස්ථාන ගත කරමින් ඔහු විසින් එම ගෝලය ලබා ගත්තා.

එම ගෝලයෙන් පසුව කිසිදු ගෝලයක් ලබා ගැනීමට දෙපිලේ ම ක්‍රීඩකයින් අසමත් වීම නිසා තරගය පහසුවෙන් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: යාපනය මධ්‍ය මහා විද්‍යාලය 03 – 00 ගේට්වේ විද්‍යාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය: සෙල්වරාස නිසාන්ත් 20’, පත්මරාජ බාස්කරන් 69’, සමිල් මවුලානා 27’ (OG)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<