බ්‍රසීලය හැඬ වූ පාපන්දුව

503

මිලියන 217කට ආසන්න අධික ජනගහනයකින් යුත් බ්‍රසීලයේ වීදි තුළ, ක්‍රීඩාංගණ තුළ මෙන්ම බලන සෑම අතකම බොහෝ විට දක්නට ලැබෙන්නා කුඩා දරුවන් මෙන්ම තරුණයින් ද පාපන්දු ක්‍රීඩා කරන අයුරුයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් හි බොහෝ දෙනා කුඩා කළ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරනවා මෙන් බ්‍රසීලයේ මිනිසුන් බහ තෝරන වයසේ සිට හැදී වැඩෙන්නේ පාපන්දුව සමඟයි.

ලෝක පාපන්දු පිටියෙහි ප්‍රබලයන් රැසක් බිහි කළ බ්‍රසීලය, ලොව ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන අතර ඔවුන් බොහෝ සේ ආදරය කරන පාපන්දුව නිසා හඬා වැලපීමට සිදු වූ අවස්ථාවන් ද දක්නට ලැබෙනවා.

2014 පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය සහ ජර්මනිය අතර පැවති අවසන් පූර්ව තරගය මෑත කාලයේ බ්‍රසීල ප්‍රේක්ෂකයින් හැඬ වූ තරගයක් ලෙස හැඳින්විය හැකියි.

බ්‍රසීලයේ සත්කාරකත්වයෙන් ඉතා උත්කර්ෂවත්ව පැවති එම තරගාවලිය බ්‍රසීලය ජය ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු සහගතව සිටියත් ජර්මනිය හමුවේ ගෝල 7-1ක දැවැන්ත පරාජයක් සිය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ලැබීමට බ්‍රසීලයට සිදුවුනා.

එම පරාජය බ්‍රසීල ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද දැඩි ශෝකයක් ගෙන දෙනු දක්නට ලැබුනු අතර තරගය අවසන් වෙද්දී ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් රැසක් කඳුළු සලමින් හඬනු දැකගැනීමට ලැබුනා.

තරගයෙන් පසුව බ්‍රසීල ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්

පාපන්දුව ජීවිතය කරගත් බ්‍රසීල වැසියන් පාපන්දුව නිසා දුකට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔවුන් පාපන්දු පරාජයන් නිසා සියදිවි නසා ගැනීමට පවා ක්‍රියා කළ අවස්ථා ඉතිහාසයේ වාර්තා වෙනවා.

“ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම නිහඬ වුනා, ප්‍රේක්ෂකයින් හිටියේ ගල් ගැහිලා වගේ. ඒක නිකන් ඔවුන් හුස්ම ගන්නෙත් නැහැ වගෙයි පෙනුනේ.”

උරුගුවේ ක්‍රීඩක Alcides Ghiggia, 1950 ලෝක කුසලාන අවසන් තරගයේ මතකය අවදි කළේ මෙහෙමයි.

1938 ලෝක කුසලානය පැවැත්වීමෙන් පසුව ඇති වූ දෙවැනි ලෝක යුද්ධය නිසා වසර 12ක කාලයක් පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි වුනා. ඒ නිසාම 1950 ලෝක කුසලානයට බොහෝ දෙනාගේ අවධානය හිමි වුනා.

පාපන්දු ක්‍රීඩාවට ඉතා ඉක්මණින් ජනප්‍රිය වූවත් ඒ දක්වා ලෝක ශූරයින් නොවූ බ්‍රසීලය මෙම තරගාවලියට සත්කාරකත්වය දරද්දී බොහෝ දෙනාගේ අනාවැකිය වුනේ ප්‍රබල බ්‍රසීලය මෙවර ශූරතාවය දිනා ගන්නා බවයි.

කණ්ඩායම් 16ක් සහභාගී වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලියෙන් කණ්ඩායම් 3ක් ඉවත් වීම නිසා කණ්ඩායම් 13ක් කාණ්ඩ හතරකට වෙන් කර තරගාවලිය පැවැත්වීමට කටයුතු කළා.

ඒ මූලික වටයේ තරගයන්ගෙන් පසුව එක් එක් කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින් අවසන් වටයට සුදුසුකම් හිමි කරගත්තේ සත්කාරක බ්‍රසීලය, උරුගුවේ, ස්වීඩනය සහ ස්පාඥ්ඥය යි.

මේ තරගාවලියට අවසන් මහා තරගයක් නොතිබූ නිසා අවසන් වටය ලීග් ක්‍රමයට පවත්වා එහි පෙරමුණ ගන්නා කණ්ඩායම ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබනවා.

අවසන් වටයේ අවසාන තරගය වූ බ්‍රසීලය සහ උරුගුවේ අතර තරගය පැවැත්වීමට සූදානම් වෙද්දී බ්‍රසීලය ප්‍රසාද ලකුණු 4ක් සහ උරුගුවේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 3ක් හිමි කරගෙන සිටියා.

තරගාවලියේ ශූරයින් වීමට බ්‍රසීලයට අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම පමණක් අවශ්‍ය වූ අතර ඔවුන් එවර ශූරතාවය ඉතා පහසුවෙන් දිනා ගනු ඇතැයි බ්‍රසීල වැසියන් ද බලාපොරොත්තු වුනා.

ඔවුන්ගේ බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ තරම කොතරම් ද කිවහොත් බ්‍රසීලය ලෝක ශූරයින් ලෙස නම් කර පත්තර ද තරගයට පෙර දිනයේම මුද්‍රණය කර තිබුණා.

ඒ නිසාවෙන් බ්‍රසීලයේ Maracanã ක්‍රීඩා පිටියට ලක්ෂ දෙකකට ආසන්න බ්‍රසීල ප්‍රේක්ෂකයින් පිරිසක් රැස්ව සිටියේ සිය ක්‍රීඩකයින් මංගල ලෝක කුසලානය දිනා ගන්නා ආකාරය දැක බලා ගැනීම සඳහායි.

1950 අවසන් තරගයේ ප්‍රේක්ෂකයින්

බ්‍රසීල ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වුන පීඩනය කුමක් වුවත් පළමු පාපන්දු ලෝක කුසලානයේ හිමිකරුවන් වූ උරුගුවේ ක්‍රීඩකයින් ද මෙම සටන අතහැරීමට කිසිඳු විටෙක සූදානම්ව සිටියේ නැහැ.

බ්‍රසීලයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ප්‍රබලත්වය දන්නා උරුගුවේ පුහුණුකරුවාගෙන් ඔවුන්ට උපදෙස් ලැබුනේ හැකි තරම් ආරක්ෂිතව ක්‍රීඩා කරන ලෙසයි. ඒත් උරුගුවේ නායක Obdulio Varelaගෙන් කණ්ඩායමට ලැබුනේ වෙනත් උපදෙසක්.

පුහුණුකරු පිටව ගිය පසු කණ්ඩායම් සගයන් කැඳ වූ ඔහු ක්‍රීඩකයින්ට ප්‍රකාශ කරන්නේ ප්‍රේක්ෂකයින් කොපමණ ගණනක් සිටියත් ඔවුන් කොයි තරම් ප්‍රබල වුනත් ආරක්ෂා නොවී ක්‍රීඩා කරන ලෙසයි.

Obdulio Varela

නායකයාගෙන් ලැබූ ජවයෙන් තරගයට පිවිසි උරුගුවේ ක්‍රීඩකයින් බ්‍රසීල ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර ඒ නිසාවෙන් ඔවුන්ට පළමු අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට හැකි වුනා.

නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ගත වෙද්දී ක්‍රියාත්මක වූ බ්‍රසීල ක්‍රීඩක Albino Friaça ගෝලයක් වාර්තා කළේ රැස්ව සිටි ලක්ෂ ගණනක ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාවෙන් Maracanã ක්‍රීඩා පිටිය දෙවනත් කරලයි.

“අපේ නායකයා කිව්වා, බලන්න කොල්ලනේ අපි දැන් වැටෙන්නේ නැතුව ඒක ගන්න යන්න ඕන. ඒ නිසා දිගටම ආක්‍රමණශීලී වෙමින් පහර දෙන්න දෙන්න කියලා.” එම ගෝලයෙන් පසුව උරුගුවේ නායකයා කළ ප්‍රකාශය ගැන Ghiggia පවසා සිටියා.

බ්‍රසීලයේ ගෝලයෙන් නැවත පිබිදීමක් ලැබූ උරුගුවේ ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 66 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට Juan Schiaffinoට හැකි වුනා.

Alcides Ghiggia ලබා දුන් පන්දුවක් ගෝලය තුළට එල්ල කරමින් Juan Schiaffino එම ගෝලය වාර්තා කරද්දී බ්‍රසීල ප්‍රේක්ෂකයින්ගේ හදවත මොහොතකට නතර වුනා.

නමුත් ශූරතාවය දිනා ගැනීමට තරගය සමව අවසන් කිරීම බ්‍රසීලයට ප්‍රමාණවත් වූ නිසා ඔවුන් තරමක ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීමට පෙළඹුණේ උරුගුවේ ක්‍රීඩකයින්ගේ ධෛර්යය තවත් වැඩි කරමිනුයි.

තරගය ආරම්භ වී මිනිත්තු 77ක් ගත වෙද්දී Alcides Ghiggia ක්‍රියාත්මක වූයේ බ්‍රසීලයේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

“මම පන්දුව දකුණට අරගෙන ගියා. මම Bigodeව පාස් කරගෙන ගෝල සීමාව තුළට පන්දුව අරගෙන ආවා. ගෝල රකින්නා සිතුවේ මම කලින් වතාවේ වගේ පන්දුව වෙනත් ක්‍රීඩකයෙක්ට යොමු කරයි කියලා. ඒ නිසා ඔහුගෙයි ගෝලයයි අතර පොඩි හිඩසක් හැදුනා. මට ඒකෙන් තත්පරයක් ඉතුරු වුන නිසා පන්දුව ගෝලයට එල්ල කළා.”  තමන් වාර්තා කළ ජයග්‍රාහී ගෝලය ගැන Ghiggia ප්‍රකාශ කළේ එහෙමයි.

Alcides Ghiggia වාර්තා කළ ජයග්‍රාහී ගෝලය

පන්දුව බ්‍රසීල ගෝලයේ දැල ස්පර්ශ කරන විට මෙතෙක් ජය ඝෝෂා නංවමින් තිබූ Maracanã ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම නිහඬ වුනා. බ්‍රසීල ප්‍රේක්ෂකයින් කුමක් ද සිදුවුනේ තේරුම් ගත නොහැකිව ගල් ගැසී මෙන් බලා සිටින්නට වුනා.

තරගය අවසන් කිරීමේ සංඥාව විනිසුරුවරයා ලබාදීමත් සමඟ උරුගුවේ ක්‍රීඩකයින් ජය සමරද්දී බ්‍රසීල ක්‍රීඩකයින් පිටිය මැද හඬා වැටෙන්නට වුනා. Maracanã ක්‍රීඩාංගණය මළගෙයක ස්වරූපයක් ගත්තා.

ප්‍රේක්ෂකයින් පරාජය දරා ගැනීමට නොහැකිව බොහෝ වෙලාවක් බලා සිටිය දී තවත් ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙක් ක්‍රීඩාංගණය තුළම සියදිවි නසා ගෙන තිබුණා. ඒවාට අමතරව බ්‍රසීලය පුරා තවත් සියදිවි නසා ගැනීම් වාර්තා වුනා.

කුසලාන ප්‍රධානය සඳහා උත්සවයක් හෝ පැවැත්වීමට නොහැකි වූ අතර බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර අවන්හල් ද වසා දැමීමට කටයුතු කළ නිසා මීළඟ දිනයේ ද නගරයේ මිනිසුන් දැකගැනීමට හැකි වුනේ නැහැ.

මෙම පරාජය නිසා බ්‍රසීල නායකයා වසර 4ක් ක්‍රීඩා කිරීමෙන් ඈත් වූ අතර බ්‍රසීලය ද වසර දෙකක් යන තුරු පාපන්දු ක්‍රීඩා කළේ නැහැ. එමෙන්ම ඔවුන් එතෙක් භාවිතා කළ සුදු ඇදුම ඉවත් කරමින් කහ සහ නිල් වර්ණයන් ක්‍රීඩා ඇඳුමට යොදා ගැනීමට ප්‍රධාන හේතුව වුනේ මේ පරාජයයි.

ලෝක කුසලාන පරාජයෙන් වැඩියෙන්ම පීඩනයට පත්වුනේ බ්‍රසීල ගෝල රකින්නා ලෙස කටයුතු කළ Moacir Barbosaයි. එම පරාජයට හේතුව ඔහු කියා බ්‍රසීල වැසියන්ගෙන් චෝදනා එල්ල වුනා.

ඔහුට දිගින් දිගටම ලෝක කුසලානය පරාජයට චෝදනා එල්ල කරන්නට වූ අතර 1994 වසරේ ලෝක කුසලානය සඳහා විස්තර විචාරකයෙකු ලෙස එක්වීමට පවා ඔහුට බ්‍රසීල පාපන්දු සම්මේලනය තහනම් කළේ ඔහු බ්‍රසීලයට අවාසනාව ගෙන එයි යන්න ප්‍රකාශ කරලයි.

“බ්‍රසීලයේ මිනීමැරුමකට පවා හිමි වන වැඩිම දඬුවම වසර තිහයි. ඒත් මම නොකළ වරදකට අවුරුදු 44ක් තිස්සේ දඬුවම් විදිනවා”  Moacir Barbosa වරක් ප්‍රකාශ කර තිබුණා.

බ්‍රසීලය පසු කාලයේ ලෝක කුසලාන ගණනාවක් දිනා ගැනීමට සමත් වුවත් 1950 වසරේ දී ඔවුන් ලැබූ පරාජයේ වේදනාව ඔවුන්ගේ සිත් තුළ තවමත් තිබෙනවා.

“එක පාරක් මම රියෝ ද ජැනයිරෝ නගරයට ඇවිත් මගේ ගුවන් බලපත්‍රය පෙන්වන්න යද්දී එතන හිටියේ තරුණ ගෑනු ළමයෙක්. එයා මගේ දිහා උඩ ඉඳන් පහළට බලද්දී මම ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා. එතකොට එයා ඇහුවා ඔයා Ghiggia ද කියලා.” 

“මම කිව්වා ඔව් මම එයා තමා. ඒත් දැන් ඒක වෙලා ගොඩක් කල් නෙහ් කියලා. ඒ ගමන් එයා පපුවට අත තියලා කිව්වා නෑ නෑ නෑ ඒක අපිට තාමත් රිදෙනවා කියලා.”  Ghiggia වරක් ප්‍රකාශ කර තිබුණා.

බ්‍රසීල කණ්ඩායමට වගේම බ්‍රසීලයේ මිනිසුන්ට ද කිසිදා අමතක නොවන පරාජයක්, වේදනාවක් ගෙන දුන් Ghiggiaට බ්‍රසීල මිනිසුන් බොහෝ සේ ආදරය කළා. ඒ ඔවුන් පාපන්දුවට සහ පාපන්දු ක්‍රීඩකයින්ට ඇති ආදරය සහ ගෞරවය නිසා.

තමන්ගේ රට පරාජය කරමින් වේදනාවක් ඉතුරු කළ Alcides Ghiggia හට බ්‍රසීලය සත්කාරකත්වය දැරූ 2014 ලෝක කුසලානයට ඔවුන් ආරාධනා කරන්නේ ද ඒ නිසයි.

Alcides Ghiggia

නමුත් 1950 ලෝක කුසලාන සිදුවීම ඔවුන්ට කෙතරම් බලපෑවේ ද යන්න ඔවුන් 2014 වසරේ දී පවා Alcides Ghiggiaට ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට නැවතත් උරුගුවේ කණ්ඩායම සමඟ Maracanã ක්‍රීඩා පිටියෙහි ලෝක කුසලාන අවසන් තරගයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොවන බවයි.

“Maracanã ක්‍රීඩා පිටිය එක මොහොතින් නිහඬ කරන්න පුළුවන් වුනේ තුන් දෙනාටයි, ඒ පාප් වහන්සේ, Frank Sinatra සහ මට විතරයි.”  – Alcides Ghiggia

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<