ඉන්දියාව 19න් පහල ආසියානු යොවුන් කුසලානයේ අවසන් තරඟයට

255
Youth asia cup 2016 India vs Afghanistan

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (20) පැවති ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය ලකුණු 77කින් ජයගන්නට ඉන්දියානු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරඟය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වූයේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතරයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ජයග්‍රහණය

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 49.1ක් තුළදී සියළු දෙනා දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් විය. හිමන්ෂු රානා එහිදී පන්දු 123කදී වේගවත් ලකුණු 130ක් ලබා ගත්තේය. ඔහු වටා පිතිකරණයෙහි යෙදුනු අනෙකුත් ක්‍රීඩකයන් ඉන්දියාවට සාර්ථක මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නේය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නවීන් උල් හක් කඩුළු 5ක් දවාගන්නට සමත් වූ නමුත් ඔහුගේ පන්දුවාර 10 තුළදී ලකුණු 80ක් සොරා ගන්නට ඉන්දියානු පිතිකරුවන් සමත් විය.

පිළිතුරු ඉනිමේදී ඇෆ්ගනිස්තානය මුල සිටම තර්ජනයට ලක්විය. කඩුල්ලෙන් කඩුල්ල දැවී යද්දී ඇෆ්ගනිස්තානයේ නිසාර් වහදත් සහ ශම්සුර් රෙහෙමාන් පමණක්, පිළිවෙලින් ලකුණු 75කුත්, 49කුත් ලබා ගනිමින් ඉලක්කය සම්පුර්ණ කරගන්නට උත්සාහ දැරූ අතර ඒ සියල්ල ව්‍යර්ථ කරන්නට ඉන්දියානු පන්දු යවන්නන් සමත් විය.

පසුව කඩුළු රැකගත්තද නියමිත ලකුණු ප්‍රමාණය හඹා යාමට නොහැකි වීමෙන් ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 කට ලකුණු 217ක්ව තිබියදී තරඟය නිමාවිය.

දෙවන අවසන් පූර්ව තරඟය සඳහා අද (21) ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් සටන් වදින අතර ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරඟයේදී ඉන්දියාව හමුවීමට නියමිතයි.

ඉන්දියාව – 294 (49.1) – හිමන්ෂු රානා 130,ශුබ්මාන් ගිල් 45. නවීන් උල් හක් 5/80.

ඇෆ්ඝනිස්තානය – 217-7 –  නිසාර් වහදත් 75,ශම්සුර් රෙහෙමාන් 49. කමලේෂ් නාගර්කෝටි 2/41,යාෂ් තාකුර් 2/33.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට