ඉස්සර Bull, දැන් Hum-Bull

IPL 2024

424

වසර 147ක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය තුළ එකඳු පළමු පෙළ ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා නොකර ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා ඔහුයි.

ඔහු නමින් David Andrew Warner! 

2009 වර්ෂයේ ජනවාරි මස 18 වැනි දා වයස අවුරුදු 22ක් පමණක් වූ තරුණ පිතිකරුවකු ලෙස Warner සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට පිටියට පිවිසුණේ එවකට ලොව විශිෂ්ටතම පන්දු යැවීමේ බළඇණියක් සිටි දකුණු අප්‍රිකානුවන්ට එරෙහිවයි. 

එහි දී තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මුහුණ දුන් දෙවන පන්දුවට ම Makhaya Ntiniට එරෙහිව හතරේ පහර එල්ල කළ Warner සිය ආක්‍රමණශීලී පිති ප්‍රහාරය ලොවට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. 

මේ අතරේ මෙම තරගය නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු නායකයකු වන Ian Chappell විසින් සිය බිරිඳ අමතමින් මෙසේ පවසනවා. 

” එන්න, වාඩිවෙලා මේ කොල්ලා සෙල්ලම් කරනවා බලන්න.” 

නමුත් පිටිය සිසාරා ඉවක් බවක් නොමැතිව පහර එල්ල කරන Warner පිළිබඳ Chappellගේ බිරිඳ එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. 

“මොනවා බලන්න ද, හතරේ, හයේ ඒවා විතරයි නේ” 

නමුත් Ianගෙන් ඊට ලැබෙන පිළිතුර හාත්පසින් ම වෙනස් එකක්. 

“නැහැ, ඒවා විතරක් නෙවෙයි. එයා හොඳ සහ නරක පන්දු තෝරා බේරා ගන්න විදිහ බලන්න.” 

මෙම යෞවනයා සතුව ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් මෙන්ම ඉතා හොඳ ක්‍රිකට් ඥානයක් ද ඇති බව තමන් එම මොහොතේ වටහා ගත් බව Ian Chappell පසුව Cricinfo වෙත යොමු කළ ලිපියක සටහන් කරනවා.

David Warner
සිය මංගල විස්සයි විස්ස තරගය අතරතුර

Chappellගේ අනුමාන කිරීම් කෙතරම් නිරවද්‍ය ද යන්න එයින් වසර 15කට පසුව අද අපට විමසා බැලිය හැකියි. 

සිය වසර පහළොවක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ ටෙස්ට් ලකුණු 8786 (සාමාන්‍ය 44.58), එක්දින ලකුණු 6932 (සාමාන්‍ය 45.30) සහ විස්සයි විස්ස ලකුණු 2894* (සාමාන්‍ය 32.88) රැස් කිරීමට සමත් වී ඇති Warner එදා මෙදා තුර ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකු බව කිසිඳු සැකයකින් තොරව සඳහන් කළ හැකි. 

ඔබ Ricky Ponting පිලිබඳ, Shane Warne පිළිබඳ කතා අසා ඇති. ඕස්ට්‍රේලියාව විසින් බිහි කළ මේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා ම බොහොම කලහකාරී සහ මතභේදකාරී තාරුණ්‍යයක් ගෙවා දැමීමෙන් පසුව වගකීම් සහගත ක්‍රීඩකයින් බවට පරිවර්තනය වුනු ක්‍රීඩකයින්. 

David Warner ගැනත් ඔබට ඒ සටහන ම තබන්න පුළුවන්! 

2009 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන Warner 2011 වන විට ක්‍රිකට් තරග රටා තුනෙන් ම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයකු බවට පත් වනවා. 

නමුත් David Warner නම් ක්‍රීඩකයාගේ හැසිරීම් රටා පිළිබඳ නම් එතරම් හොඳ ප්‍රතිරූපයක් ක්‍රිකට් ලෝකය තුළ ඇති වුනේ නැහැ. 

2013 ශූරයින්ගේ කුසලානය අතරතුර දී එංගලන්ත ක්‍රීඩක Joe Root සමඟ ඇති ගත් ගැටුමක් නිසා Warnerට තරග තහනමක් පැනවෙනවා. ඒ සිදුවීමෙන් සීමිත කාලයක් ගෙවිලා යද්දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක Thami Tsolekile සමඟ Warner නැවතත් ගැටලුවක් ඇති කර ගන්නවා. 

මෙතැනින් පසුව ඔහු දිගින් දිගටම ක්‍රිකට් පිටිය තුළ සහ ඉන් පිටත දීත් විවිධාකාරයේ ගැටුම්, මතවාදවලට මුලපුරනවා. 

“ක්‍රිකට් පිටියේ මම දැකපු නොමේරූ ම ක්‍රීඩකයා තමයි ඔහු.” 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් Warnerගේ මේ හැසිරීම සෘණාත්මක බලපෑමක් එල්ල කරනවා කියලයි හිටපු නවසීලන්ත නායක (මිය ගිය) Martin Crowe විසින් පැවසුවේ.

David Warner

David Warner මේ කාල සීමාවේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ Attack Dog* කියන චරිතයට පණ පොවමින් හිටියා. 

*. ඕස්ට්‍රේලියාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අතිශය ආක්‍රමණශීලී කණ්ඩායමක්. මේ ආක්‍රමණශීලී බව දෙගුණ තෙගුණ කරවන්න ඔවුන්ගේ වාග් ප්‍රහාරත් (Sledding) විශාල හේතුවක් වෙනවා. මේ Sledding වල දී කණ්ඩායමේ ඉදිරියෙන් ම හිඳිමින් ප්‍රතිවාදීන් ව සම්පූර්ණයෙන්ම මානසික ව බිඳ වට්ටවන ක්‍රීඩකයින් Attack Dog නමින් හඳුන්වනවා. 

මේ හේතුව නිසාම කාලයක් යද්දී David Warner, Bull කියන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වන්න පටන් ගන්නවා. 

නමුත් පසු කාලයක දී මේ Bull (කුළු ගවයා) Hum-Bull (Humble – නිහතමානී) විදිහට වෙනස් වුනා කියලත් Warner සඳහන් කරනවා. 

Warner, Bull විදිහට එහෙමත් නැත්නම් Attack Dog විදිහට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය තුළ ඔහු රංගන හේරත් සමඟ ක්‍රීඩා පිටිය තුල දී ගැටුමක් ඇති කර ගත්තු ආකාරය ඔබේ මතකයේ ඇති. 

ඊට අමතර ඉන්දියානු ක්‍රීඩකයින් සමඟ නිරන්තරයෙන් ම ඔහු පිටිය තුළ දී ගැටුම් ඇති කර ගන්නවා. මේ දේවල් නිසා වරින් වර ඔහුට දඩ සහ දඬුවම් පවා නියම වුනා. 

මේ ගැටුම්වල උච්චතම අවස්ථාව උදා වෙන්නේ 2017 දකුණු අප්‍රිකානු සංචාරයේ දී. එහි දී ඔහු සහ Quinton de Kock සමඟ ඇති කර ගත්තු වාග් සංග්‍රාමය ක්‍රීඩා පිටියෙන් පිටතට පවා ඇදිලා යනවා. මේ තරගාවලිය David Warnerගේ සහ සමස්ත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩා රටාවේ ම විශාල වෙනසක් සිදු කරා කියන එක ක්‍රිකට් ලෝකය ම අදටත් කතාබහට ලක් කරනවා. 

හේතුව තමයි David Warner, Steve Smith සහ Cameron Bancroft කියන ක්‍රීඩකයින් තිදෙනාට පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබීම සහ තරග තහනමකට ලක් වීම. මේ තරග තහනමින් පසුව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ ඊට කලින් අපි දැකපු Warner හෝ Smith නෙවෙයි. 

ඔවුන් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වෙනවා. බොහෝ ක්‍රිකට් රසිකයින්  අදටත් මේ වෙනස ගැන පුදුම වෙනවා, සමහරු දුක් වෙනවා.

මේ තරග තහනම සහ පන්දුව පළුදු කිරීමෙ චෝදනා ලැබීමෙන් පසුව Warner විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ තරගාවලියක් අතරතුර Randwick Petersham ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිය දී තවත් ක්‍රීඩකයෙක් විසින් සිදු කළ යම් ප්‍රකාශයක් නිසා තමන්ගේ ඉනිම නතර කරමින් පිටියෙන් ඉවත් වෙලා යනවා. මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍යවලින් විශාල අවධානයක් පවා යොමු වෙනවා. 

Warnerට එරෙහිව මේ ප්‍රකාශය සිදු කරන්නේ අවාසනාවන්ත ලෙස මියගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Phillip Hughesගේ සහෝදරයා Jason Hughes විසින්. 

“ඔබ අපකීර්තියක්, ඔබ ක්‍රිකට් ක්‍රීඩා නොකළ යුතුයි.” 

Jason මේ විදිහේ කතාවක් Warnerට කිව්වා කියලයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය සිදුවීම වාර්තා කළේ.  

“අතීතයේ දී Warner විසින් මේ විදිහේ කතා කියපු කෙනෙක් මෙහෙම පිටියෙන් ඉවත් වෙලා ගියා නම් කී දෙනෙක් ඔවුන්ට අනුකම්පා කරාවි ද කියලා මට සැකයි. ඔහුයි (Warner) වැරදි දේ කළේ. ඒ වෙලාවේ ක්‍රීඩා පිටියෙන් ඉවත් නොවිය යුතුයි.” 

Richard Hinds කියන ක්‍රීඩා මාධ්‍යවේදියා එදා එහෙම කිව්වා. 

David Warner
පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් පසු!

තමන්ගේ තරග තහනම ඇතුළේ Warner ගත කරන්නේ ඒ වගේ අසීරු කාල සමයක්. එයින් පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පය තියපු Warnerට පෙර කිව්වා වගේම Bull වෙනුවට Hum-bull කියලා ආමන්ත්‍රණය කරන්නේ එයින් පසුව සිදු වුන අදහා ගත නොහැකි වෙනසත් සමඟින්. 

තහනමින් පසුව ක්‍රීඩා පිටියේ හැසිරීම විතරක් ම නෙවෙයි Warner තමන්ගේ ආක්‍රමණශීලී පිතිකරණයෙත් යම් වෙනසක් සිදු කර ගෙන තිබුණු බව පැහැදිලිව ම පෙනෙන්න තිබුණු දෙයක්. 

ඒකට හේතුව කෙමෙන් වයසට යෑම සමඟ ඇති වෙන පරිණත බව ද එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් ද කියලා දන්නේ Warner ම විතරයි. 

ඒ කොහොම වෙතත් Warner ක්‍රීඩා පිටිය තුළ Attack Dog කෙනෙක් විදිහට හැසිරුණේ කණ්ඩායමේ අවශ්‍යතාව නිසා කියලයි ඔහුගේ දීර්ඝ කාලීන ක්‍රිකට් සගයා Usman Khawaja විසින් පසුගිය දවසක හෙළිදරව් කළේ. 

“දිගු කාලයක් තිස්සේ ඔහු මිනිසුන්ට මතක තියෙන දේවල් කළා. නමුත් ඒ Davey (David Warner) නෙවෙයි. ඔහු අවට සිටින පුද්ගලයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය විසින් ඔහුට යම් ආකාරයකට ක්‍රීඩා කරන මෙන් උපදෙස් දීලයි තිබුණේ. ඔහු කණ්ඩායම් ක්‍රීඩකයෙක්. ඔබ ඔහුට යමක් කරන්නැයි කීවොත් ඔහු එය කරාවි.  

මිනිසුන් ඔහු වෙත පැමිණෙන විට එය තමයි කණගාටුදායක කොටස. මොකද මම දන්නවා ඔහු කණ්ඩායමට තරගයක් දිනන්න අවශ්‍ය ඕනෑම දෙයක් කරනවා කියලා. 

එදා දවසේ දී, කණ්ඩායම/පුහුණුකරු හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායමට Sledge කරන ලෙස ඉල්ලුවොත් ඔහු එය සිදු කරනවා.  

ඔහුට එය කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් ඔහුට කණ්ඩායමට උදව් කරන්න අවශ්‍යයි. තමන් කණ්ඩායමට උදව් කළ යුතු බව ඔහුට හැඟෙන්නේ එහෙමයි. නමුත් 2019 දී නැවත පැමිණීමෙන් පසුව ඔබ ඉතා වෙනස් David Warner කෙනෙක්ව දකින්න ඇති.” 

කණ්ඩායම වෙනුවෙන්, කණ්ඩායමේ අවශ්‍යතාව වෙනුවෙන් සිය තරග ස්වභාවය වෙනස් කර ගැනීමට Warner සූදානම් ව සිටි බවයි Khawaja විසින් හෙළිදරව් කරන්නේ. 

David Warner විසින් සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටින අතරතුර Khawaja විසින් සිය ආරම්භක පිතිකරු සගයා පිළිබඳ මේ සඳහන සිදු කරනවා. 

පසුගිය දා Warner විසින් තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියට මෙන්ම එක්දින ක්‍රිකට් පිටියට ද සමු දෙන බව නිල වශයෙන් නිවේදනය කළා. මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන Warner සිය ක්‍රීඩා දිවියේ විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපුරුදු දක්ෂතා කරා එළඹීමට අපොහොසත් වෙමින් සිටිනවා. එම දුර්වලතාව නිසා මෑත කාලීන ව දැඩි විවේචනවලටත් Warner බඳුන් වූ නමුත් අතීතයේ මෙන් එවාට පිළිතුරු බැඳීමට Warner සිය කාලය මිඩංගු නොකිරීම විශේෂත්වයක්. 

David Warner
ටෙස්ට් පිටියේ සිය අවසන් දිනය ගෙවා දැමීමට පිටියට පිවිසෙන Warner

ක්‍රීඩාවෙන් ලද වසර පහළොවකට අධික අත්දැකීම් සහ හික්මීම ක්‍රීඩකයකු කෙතරම් පරිපූර්ණ බවට පත් කරයි ද යන්න David Warner මගින් සජීවී ව විඳ ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී තිබෙනවා. 

  • Warner සිය අවසන් ටෙස්ට් ඉනිම අද (06) පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළා. මෙහි දී ඔහු විසින් තමන්ගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියට ස්වර්ණමය මතක සටහනක් එක් කර ගනිමින් අර්ධ ශතකයක් (ලකුණු 57ක්) ලබා ගන්නත් සමත් වුනා. 

ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකට ම සමු දුන්නත් ඔහු ඉදිරියේ දී ජාත්‍යන්තර සහ ලීග් විස්සයි විස්ස පිටියේ දී සිය පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කරනා අයුරු ඔබට දැක ගැනීමේ අවස්ථාව හිමි වනු ඇති. නමුත් මීට දශකයට පෙර ඔබ දුටු Attack Dog David Warnerව මින් පසු කිසිම දිනෙක ඔබේ දර්ශන පතය වෙත නොපැමිණෙනු ඇති බව නම් විශ්වාසයෙන් යුතුව සඳහන් කළ හැකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<