ශ්‍රී ලංකාව 2 වැනි පුහුණු තරගයත් කඩුලු 9කින් පරාජය වෙයි

Sri Lanka tour of England 2026

2

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තමන් සහභාගී වූ 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙනුත් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක පරාජයකට ලක් වීමට සිදු වුණා.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…

Becknham හී County ක්‍රීඩාංගණයේ දී (13දා) අවසන් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 156ක් ලබා ගන්නවා.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දැරූ අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කමිල් මිෂාර. ඔහු පන්දු 18ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඊට අමතර ව පැතුම් නිස්සංක පන්දු 16ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද, චරිත් අසලංක පන්දු 22ක දී හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ මෙම තරගයේ දී ද තරිඳු රත්නායක පන්දු 12ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.  

ඊට අමතර ව තරගයට එක් වූ ලහිරු උදාර (13), කමිඳු මෙන්ඩිස් (2), දසුන් ශානක (13), ජනිත් ලියනගේ (5) දුනිත් වෙල්ලාලගේ (10), මහීෂ් තීක්ෂණ (නොදැවී 1) සහ දුශ්මන්ත චමීර (නොදැවී 0) ලෙසින් තම ඉනිම් අවසන් කළා.  

කඩුලු දවා ගැනීමේ දී Mason Crane, James Coles සහ Tom Hartley කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත Lions ක්‍රීඩකයන්ට තම ඉනිම සඳහා ක්‍රීඩා කිරීමට හැක් වෙන්නේ පන්දුවාර 6.2ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථා නතර කරන විට ඔවුන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 76ක් ලබා සිටියා.  

එතැන් සිට තරගය නැවත ආරම්භ නොවූ අතර ඒ අනුව ප්‍රතිවාදී එංගලන්ත Lions කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි වූවා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Paul Walter පන්දු 20ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා. ඊට අමතර ව Ben Mayes අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටිමින් පන්දු 7ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.  

ඉනිමේ දැවී ගිය එක ම පිතිකරුවා වූ Ben McKinney ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19ක්. මහීෂ් තීක්ෂණ ගේ පන්දුවකට එශාන් මාලිංග වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යද්දී පන්දු 12කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 3ක් ද ඇතුලත් වුණා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 156 (20.0) පැතුම් නිස්සංක 23, කමිල් මිෂාර 31, චරිත් අසලංක 23, තරිඳු රත්නායක 22, Mason Crane 2/20, James Coles 2/22, Tom Hartley 2/27
  • එංගලන්ත Lions කණ්ඩායම – කඩුල්ලක් දැවී 76 (6.2) Paul Walter නොදැවී 34, Ben McKinney 19

එංගලන්ත Lions කණ්ඩායමට ඩක්වර් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක ජයක්.  

දෙරට අතර ආරම්භ වන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 1 වැනි තරගය මේ මස 15 වැනිදා Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<