SAG – වොලිබෝල් කාන්තා කණ්ඩායමත් ලෝකඩ පදක්කමක් දිනයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

76

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය අද (02) මාලදිවයින් කණ්ඩායම සමඟින් පැවැත්විය. එම තරගයේ දී තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

SAG2019 – තෙවැනි ස්ථානයේ සටනට ශ්‍රී ලංකාවට අවස්ථාව

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව තරග අද (30) ශ්‍රී ලංකා …

තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව හා මාලදිවයින B කාණ්ඩය යටතේ තරග වැදිනි. එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම වූ පාකිස්තානය තරගාවලිය සඳහා සහභාගි නොවීම නිසා එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට ලබා දී තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී මාලදිවයින තරග වට 3-0ක් ලෙස පරාජය කළ අතර ඔවුන් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ දී නේපාල කණ්ඩායම මුණගැසුණු අතර ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය හමුවේ පරාජය වූයේ අනපේක්ෂිත අන්දමිනි. තරගයේ ලකුණු සටහන දැක්වූයේ තරග වට 3-0  ලෙසිනි. මාලදිවයිනට අවසන් පූර්ව වටයේ දී ඉන්දීය කණ්ඩායම මුණගැසුණු අතර ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ මාලදිවයින තරග වට 3-0ක් ලෙස පරාජය විය. 

Photos: Sri Lanka vs Maldives | 3rd Place | Women’s Volleyball | SAG 2019

ශ්‍රී ලංකා මාලදිවයින් තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව මාලදිවයින වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර ඔවුන් එම තරග වටය ලකුණු 25-13ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළේය. 

පළමු වටයේ දී පවත්වා ගත් රිද්මය දෙවන වටයේ දී ද පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර මාලදිවයින් කණ්ඩායමේ අඩුපාඩු මනා ලෙස හඳුනා ගනිමින් ඔවුන්ගේ දුර්වලතා වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. දෙවන තරග වටය ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළ අතර එහි ලකුණු තත්ත්වය ලකුණු 25-18ක් ලෙස දැක්විය. 

SAG2019 – ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් 4 දෙනා අතරට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (29) …

තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තුන්වැනි තරග වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට මාලදිවයින සමත්වූයේ නැත. අන් තරග වට වලට වඩා පහසුවෙන් ජයග්‍රහණය කරා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදා වූ අතර තුන්වැනි තරග වටයේ ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-08ක් ලෙසිනි. 

ඒ අනුව තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ සමඟින් වොලිබෝල් කාන්තා කණ්ඩායම ද ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තරගයට පෙර පැවති පිරිමි වොලිබෝල් තරගයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම බංග්ලාදේශය පරාජය කර ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

SAG2019 – ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම ජය ගනී

කෙසේ නමුත් අවසන් වරට පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රිදි පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මෙවර ඔවුන් එක් ස්ථානයක් පසුපසින් තරගාවලිය අවසන් කළේය.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<