අරාබියේ රස්නය තමයි ප්‍රශ්නය

Asia Cup 2023

328

මෙවර ආසියානු කුසලානය රටවල් දෙකක සත්කාරකත්වයෙන් පැවැත්වීමට පාකිස්තානය ඉදිරිපත් කළ යෝජනාවට තම විරෝධය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් ESPN cricinfo වෙත සඳහන් කර තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන “2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය” පිළිබඳ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට පසුගිය අඟහරුවාදා (09) ආසියා ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින් සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයින් මුණ ගැසුණු අතර එහි දී PCB වෙතින් ACCය වෙත තවත් අලුත් “දෙමුහුන්” තරග ආකෘතියක් ඉදිරිපත් කර තිබුණා.

මේ මඟින් පෙර ඔවුන් යෝජනා කළ ආකෘතියේ සැපයුම් සහ තාක්ෂණික ගැටලු විසඳා ඇති බවයි PCBය විසින් පවසා තිබුණේ. නමුත් ඔවුන් ඉදිරිපත් කරන ආකෘතියේ මූලික හරය වන පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන දෙරටේ ම තරගාවලිය පැවැත්වීමේ අදහසට ශ්‍රී ලංකා සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල විසින් සිය විරෝධය පළ කර තිබෙනවා.

“අපි දෙමුහුන් ආකෘතියට විරුද්ධ බව පවසන ලෙස ACCයට ලිඛිත ව දැන්වුවා. නමුත්, එතැනින් එහාට කිසිම අවසන් තීරණයකට එළඹිලා නැහැ. ඒ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගොඩක් රස්නෙයි.”

පාකිස්තානයේ දෙමුහුන් යෝජනාවට තම විරෝධය පළ කිරීමේ හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් එසේ පැහැදිලි කර තිබුණා.

පාකිස්තානය විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටත්, ඉතිරි තරග පාකිස්තානයේ පැවැත්වීමටත් යෝජනා කර තිබුණා. එමෙන් ම බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවෙන් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ගෙන එන තර්කයට එරෙහිව PCBය විසින් දරන්නේ වෙනස් ම මතයක්.

මෙම කාලයේ දී (සැප්තැම්බර් මාසයේ දී) ගිය වසරේ ආසියානු කුසලානය මෙන් ම, 2018 ආසියානු කුසලානය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කළ අතර, එම නිසා මෙවර ද එම කාල සීමාවේ තරගාවලිය එමීර් රාජ්‍යයේ පැවැත්වීම ගැටලුවක් නොවන බවයි PCBය විසින් පවසන්නේ.

එමෙන් ම ඉහත අවස්ථා දෙකේ දී ම තරගාවලිය එමීර් රාජ්‍යයට මාරු කළේ විකල්පයක් ලෙසටයි. 2018 තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ව තිබූ එකක් වන අතර, ඉන්දු-පාකිස්තාන දේශපාලන අර්බුද නිසා එය එමීර් රාජ්‍යයට මාරු කළ අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය  නිසා 2022 ආසියා කුසලානය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මාරු කළා.

මෙහි දී 2022 තරගාවලිය එමීර් රාජ්‍යයේ පැවැත්වුනත් එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු ව පැවතුණු අතර, මෙවර තරගාවලියත් ඒ අයුරින් පැවැත්වීමට හැකි බවට යෝජනාවක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තියෙනවා නම්, අපි එය භාර ගන්නවා.”

එවැනි යෝජනාවකට සිය එකඟතාව පළ කරන බවයි මොහාන් ද සිල්වා මහතා ESPN cricinfo වෙත සඳහන් කර ඇත්තේ.

නමුත් පාකිස්තානය නම් කවුරුන් කුමන යෝජනාවක් ඉදිරිපත් කළ ද සිය ස්ථාවරය වෙනස් නොකරන බවයි පෙනී යන්නේ.

“පාකිස්තානය සහ තවත් මධ්‍යස්ථ රටක් ගැන ඉදිරිපත් කළ ආකෘතිය ප්‍රතික්ෂේප කරනවා අපි නම් ආසියානු කුසලානය ක්‍රීඩා කරන්නේ නැහැ.”

PCB නිලධාරියෙකු විසින් ESPN වෙත එසේ සඳහන් කර තිබුණා.

එමෙන් ම මෙහි දී ඇෆ්ගනිස්තානය විසින් මෙම කිසිම ගැට‍ළුවකට අත නොදා සිටීමට තීරණය කර ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ එක ම ඉල්ලීම වන්නේ ආසියානු කුසලානය නියමිත කාලයට පැවැත්වීම පමණයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<