ආසියානු කුසලාන ගැටලුව උග්‍ර වෙයි; අවසන් විසඳුම ශ්‍රී ලංකාව ද?

Asia Cup 2023

1118

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට නියමිත ව සිටියේ පාකිස්තානය වුවත්, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට එකඟ නොවීම නිසා පාකිස්තානයට ඒ වෙනුවෙන් වෙනත් විසඳුම් සෙවීමට සිදු වුනා.

ඒ අනුව ඔවුන් සිදු කළ ‍යෝජනාවක් වුනේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් පාකිස්තානයෙන් පිට දේශයක පැවැත්වීමයි. නමුත් ඊයේ (08) ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) මඟින් එම යෝජනාව ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව මෙවර ආසියානු කුසලානය පැවැත්වීමට වෙනත් සත්කාරක දේශයක් සොයා යාමට ACCයට සිදු වනු ඇති බවයි Times of India වෙබ් අඩවිය මඟින් සඳහන් කරන්නේ.

මේ අතර කණ්ඩායම් 6ක් විසින් තරග කරන මෙවර තරගාවලියට සත්කාරකත්වය සැපයීම වෙනුවෙන් හොඳම තෝරා ගැනීම ශ්‍රී ලංකාව වනු ඇති බවයි මේ වන විට ACCය වෙතින් දැන ගන්නට ලැබෙන්නේ.

විශේෂයෙන්ම තරගාවලියේ සත්කාරක දේශය වීමට උත්සාහ කරන තවත් දේශයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරගාවලිය පැවැත්වීමට නියමිත සැප්තැම්බර් මාසයේ දී ඇති අධික ආර්ද්‍රතාව නිසා ක්‍රීඩකයින්ට ආබාධ ඇති වීමේ සම්භාවිතාව ඉහළ යා හැකි බවයි ACCය විසින් අනුමාන කරන්නේ. ඒ නිසා ආසියානු කුසලානය වෙනත් රටකට ගෙන යනවා නම් ඒ ශ්‍රී ලංකාව විය යුතු බව අනුමාන කළ හැකියි.

මේ පිළිබඳ ඊයේ පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව අද (09) දිනයේ නැවතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi විසින් තවත් සාකච්ඡාවකට සූදානම් ව සිටින අතර, එහි දී කෙසේ හෝ ACCයේ අදහස වෙනස් කිරීමට ඔහු උත්සාහ දරනු ඇති.

නමුත් ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන PTI වෙත අදහස් දැක්වූ ACC නියෝජිතයෙකු විසින් සඳහන් කරන්නේ, පාකිස්තානය මෙම අවස්ථාවේ යම් තරමකට ACCය තුල තනි වී ඇති බවයි.

“ශ්‍රී ලංකාව සැම විට ම BCCI සමඟ සිටියා, දැන් බංග්ලාදේශයත් පාකිස්තානයේ තීරණයට විරුද්ධ වෙලා තියෙනවා.”

එමෙන් ම මෙවර ආසියානු කුසලානයේ එක ම කාණ්ඩයක් නියෝජනය කරන ඉන්දියාව සහ පාකිස්තානය සමඟ තරග කිරීමට නියමිත අනෙක් කණ්ඩායමට (නේපාලයට) පාකිස්තානය පෙර යෝජනා කළ සත්කාරක රටවල් දෙකේ සැලැස්ම තරමක් කරදරකාරී එකක් වනු ඇති බවත්, එවැනි හේතු ගණනාවක් නිසා ACCය විසින් පාකිස්තානයේ යෝජනාවට මුල සිට ම එකඟ නොවූ බවත් ACC නියෝජිතයා සඳහන් කර තිබෙනවා.

එමෙන් ම මෙහි දී රට තුල ගමනාගමන කටයුතු සඳහා ගුවන් ගමන් අනවශ්‍ය වීමේ වාසිය ශ්‍රී ලංකාවේ තරගාවලිය පැවැත්වීම මඟින් ලබා ගත හැකි බවත් එම නියෝජිතයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

නමුත් මේ සියල්ල පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නම් ACC සභාපති Jay Shah විසින් විධායක මණ්ඩල රැස්වීමක් කැඳවිය යුතු වනවා. එමෙන් ම මෙය තවමත් මෙම ගැටලුවේ ආරම්භය පමණක් බව අනුමාන කළ හැකියි.

ආසියානු කුසලානයෙන් පසුව 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර, මෙම ගැටලුව තවත් උග්‍ර අතට හැරුණ හොත් පාකිස්තානය ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ කඩ පවතිනවා.

මේ පිළිබඳ දිනෙන් දින උණුසුම් වන පුවත් සියල්ල ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<