“හොඳ ප්‍රශ්නයක්, නමුත් උත්තරේ නම් දන්නේ නැහැ!” – සංජු

IPL 2023

1687

2023 IPL තරගාවලියේ Sunrisers Hyderabad සහ Rajasthan Royals කණ්ඩායම් අතර ඊයේ (07) පැවැත්වුණු තරගයෙන් තියුණු සහ තරමක් වෙනස් ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට Sunrisers සමත් වුනා.

එම තරගයේ අවසන් පන්දුවේ දී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හයිද්‍රාබාද් පිළට ලකුණු 5ක් අවශ්‍ය ව තිබූ අතර, රාජස්තානයේ Sandeep Sharma විසින් යැවූ අවසන් පන්දුවට හයිද්‍රාබාදයේ Abdul Samad විසින් එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට Jos Buttler විසින් සමත් වුනා.

ඒ සමඟ ම රාජස්තානය සිය ජයග්‍රහණය සැමරීමට ආරම්භ කළා. නමුත් සුළු මොහොතකින් Sharma විසින් යැවූ පන්දුව නිපන්දුවක් ලෙස සලකුණු කළ අතර, ඒ අනුව නැවතත් අවසන් පන්දුව යොමු කිරීමට Sharmaට සිදු වුනා. ඒ මොහොතේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබූ ලකුණු 4, හයේ පහරකින් සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට හයිද්‍රාබාද් පිතිකරු Abdul Samad විසින් සමත් වුනා.

මෙම අනපේක්ෂිත පරාජය රාජස්තානයට දරා ගැනීම තරමක් අපහසු එකක් වූ බව ඒ මොහොතේ ම පෙනී ගිය කාරණයක්. විශේෂයෙන්ම තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් ම Abdul Samad විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් ද Obed McCoy අතින් ගිලිහී යාම ඊට හේතුවක් ලෙස සැලකිය හැකියි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි රාජස්තාන් නායක Sanju Samson විසින් පවසා සිටියේ ක්‍රීඩකයින් මෙවැනි පරාජයන් සඳහා සූදානම් වී සිටිය යුතු බවයි. නමුත් විස්තර විචාරකයා විසින් Sanjuට එල්ල කළ මීළඟ පැනයෙන් ඔහුට කට උත්තරත් නැති වී ගිය බවයි පෙනී ගියේ.

පළමුව පන්දුවට පහර දීමේ දී තවත් ලකුණු කිහිපයක් හෝ එකතු කර ගැනීමට තිබුණා ද යනුවෙන් විස්තර විචාරකයා ඇසූ පැනයට තරමක් අන්ද මන්ද ස්වරූපයකින් සිටි Sanju Samson විසින් ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“ඒක හොඳ ප්‍රශ්නයක්, මම දන්නේ නැහැ.”

Samson විසින් ලබා දුන් පිළිතුර විස්තර විචාරකයා පවා මොහොතකට නිශ්ශබ්ද කිරීමට සමත් වුනා.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන්‍ රාජස්තානය ලබා ගත් ලකුණු 214 වෙනුවෙන් වේගවත් ලකුණු 66ක් එකතු කිරීමට සමත් වූ නායක Samson විසින් මෙය IPL හි ස්වභාවය බව පසුව විස්තර කළා.

“මේ තමයි IPL විසින් ඔබට ලබා දෙන දේ, මේ වගේ තරග තමයි IPL විශේෂ තරගාවලියක් බවට පත් කරන්නේ. මම Sandeep ගැන විශ්වාසයෙන් හිටියා. ඔහු මේ හා සමාන අවස්ථාවක (CSK කණ්ඩායමට එරෙහිව) අපි වෙනුවෙන් ඒ දේ කළා. ඔහු ඒ දේ අදත් (07) කළා. නමුත් නිපන්දුව ඒ හැම දේ ම විනාශ කළා.”

මේ වන විට රාජස්තානය ක්‍රීඩා කර ඇති තරග 11න් 5ක් ජයග්‍රහණය කරමින් IPL ලකුණු සටහනේ සිව් වන ස්ථානය හිමි කර ගෙන සිටින නමුත්, Play-Off තරග වටයට පිවිසීම ට නම් ඔවුන්ට ඉතිරි ව ඇති තරග තුන ම ජයග්‍රහණය කිරීමට සිදු වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<