අයර්ලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තු වැස්සට සේදෙයි

ICC Cricket World Cup 2023

402
Ireland's world cup direct qualifying dreams

බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර මේ දිනවල පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (09) අධික වර්ෂාව නිසා තීරණයක් රහිතව අත්හැර දැමීමට සිදු වුනා.

ඒත් සමඟින් මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තයට තිබූ අවසන් අවස්ථාවත් ඔවුන්ට අහිමි වී ගියා.

ICC සුපර් ලීග් ලකුණු සටහනේ මුල් ස්ථාන 8 හිමි කරගන්නා කණ්ඩායම්වලට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබූ අතර, ඊයේ දිනය වන තෙක් එම ලකුණු සටහනේ 8 වැනි ස්ථානය සඳහා දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය අතර සටනක් නිර්මාණය වී තිබුණා.

පසුගිය මාර්තු මාසයේ දී නවසීලන්තය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමා කිරීමට නොහැකි වීම නිසා මෙම සටනේ එතෙක් ජීවමානව සිටි ශ්‍රී ලංකාව සටනෙන් ඉවත් වූ අතර, එම කාලයේ දී ම නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අබිබවා යමින් ලකුණු සටහනේ 8 වැනි ස්ථානය කරා පැමිණීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

නමුත් මෙම අයර්ලන්ත – බංග්ලාදේශය එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට අයර්ලන්තය සමත් වුවහොත් ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව සමඟ සම තැන් ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ඉතිරි ව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ තරගය අත් හැර දැමීමෙන් පසුව තවදුරටත් අයර්ලන්තයට ලෝක කුසලානය වෙනුවෙන් සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් ඉතිරි වී නැහැ.

ඒ අනුව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සෘජු සුදුසුකම් ලැබූ රටවල් 8 මෙසේයි,

ඉන්දියාව (සත්කාරක දේශය), නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව

එමෙන් ම ලකුණු සටහනේ 8 වැනි ස්ථානයෙන් පසුව ඉතිරි වී සිටින කණ්ඩායම් 5ට (ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ) මෙම වසරේ ජුනි මාසයේ දී සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනවා.

එමෙන් ම එම රටවල් 5ට අමතරව ස්කොට්ලන්තය, ඕමානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලියේ මුල් ස්ථාන දෙක දිනා ගැනීමට සමත් වන රටවල් ද්විත්වය මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති අතර, කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානය සහ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගමන් මග පිළිබඳ ව සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<