ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පවත්වනවාට පාකිස්තානයේ විරෝධය!

Asia Cup 2023

1458
Pakistan oppose to asia cup venues to shift sri lanka

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමේ යෝජනාවට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් සිය විරෝධය පළ කර තිබෙනවා.

මීට පෙර මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට කටයුතු  සූදානම් කර තිබුනත්, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට එකඟ නොවීම මත පාකිස්තානයට ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමට සිදු වුනා. ඒ අනුව ඔවුන් විසින් සත්කාරක රටවල් දෙකක් (පාකිස්තානය සහ ඉන්දියාවේ තරග ක්‍රීඩා කිරීමට තවත් රටක්) සමඟින් දෙමුහුන් ආකෘතියක යෝජනාවක් ACCය වෙත ඉදිරිපත් කළා.

නමුත් ඊට එරෙහි ව විවිධ හේතු දැක්වූ ACC විසින් පසුගිය සඳුදා (08) එම යෝජනාව මුළුමනින් ම බැහැර කළ අතර, ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරකත්වය ලබා දීමේ අදහසක් ඉදිරිපත් කර තිබුණා.

නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi විසින්  ඊයේ (09) දිනයේ නැවතත් ACC නියෝජිතයන් පිරිසක් ඩුබායි හිදි මුණ ගැසුණු අතර එහි දී තරගාවලිය ශ්‍රී ලංකාවට ගෙන යාමේ තීරණයට විරුද්ධ වී තිබෙනවා.

මෙහි දී තරගාවලියේ සත්කාරක දේශයන් ලෙස ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමේ අවකාශය ACC වෙත තිබූ නමුත්, තරගාවලිය පැවැත්වීමට නියමිත සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින අධික උෂ්ණත්වය නිසා ක්‍රීඩකයින්ට යම් බලපෑමක් ඇති විය හැකි බව පවසමින් එමීර් රාජ්‍යය තෝරා ගැනීම් වලින් බැහැර කර තිබුණා.

නමුත් Najam Sethi විසින් ඊයේ පවසා ඇත්තේ තමන් ඉදිරිපත් කරන දෙමුහුන් ආකෘතියට ACCය එකඟ නොවන්නේ නම් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය යුතු බවයි.

“ආසියානු කුසලානය සඳහා පාකිස්තානය යෝජනා කළ දෙමුහුන් ආකෘති යෝජනාව ACCය විසින් පිළි ගත යුතු බවත්, බොහෝ රටවල් එය පාකිස්තානයෙන් බැහැරට ගෙන යාමට බලාපොරොත්තු වේ නම් තරගාවලිය 2018 සහ 2020 මෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය යුතු බවත් Sethi විසින් අවධාරණය කළා.

ඒ වගේ ම BCCI විසින් සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය වැඩි වේවි යැයි ACCය වෙත සැල කිරීමට උත්සාහ කර ඇති නමුත්, BCCI විසින් ම 2020 IPL තරගාවලියේ කොටසක් අදාළ කාලයේ දී (සැප්තැම්බර්-නොවැම්බර්) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වා ඇති බවත් Sethi විසින් පෙන්වා දුන්නා.”

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයකු විසින් ඉහත ප්‍රකාශය සිදු කරමින් මේ බව හෙළිදරව් කර තිබෙනවා.

එමෙන් ම එම නියෝජිතයා විසින් තවදුරටත් සඳහන් කර ඇත්තේ Sethi විසින් ACCයට ඉවත දැමිය නොහැකි අන්දමේ නව දෙමුහුන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන් ම මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට BCCI වෙතින් ශ්‍රී ලංකාවට සහය ලබා දෙමින් ඒ බව ACC වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බව දැන ගැනීමෙන් පාකිස්තානය පුදුමයට පත් වූ බවත් එම නියෝජිතයා සඳහන් කර තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව විසින් ආසියානු කුසලානයට සත්කාරකත්වය ලබා දීමට සිදු කළ යෝජනාව පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

එමෙන් ම සිය යෝජනාවලට ACCය විසින් එකඟ නොවුනහොත් මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් තමන් ඉවත් වීමට ඉඩ ඇති බවට ද පාකිස්තානය විසින් අනතුරු අඟවා ඇති අතර, ආසියානු කුසලානය වෙනුවට වෙනත් රටවල් 2ක හෝ 3ක සහභාගීත්වයෙන් වෙනත් තරගාවලියක් පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුමක් සකස් කරමින් පවතින බවත් Sethi විසින් පැවසූ බවයි PCB නියෝජිතයා විසින් හෙළිදරව් කර තිබුණේ.

මෙවර ආසියානු කුසලානය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<