ඩිල්ශාන් සහ තරංග අතීත මතක අලුත් කරයි!

Legends league Cricket 2023

2183

Legends League Cricket තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (14) Asia Lions සහ India Maharajas කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට India Maharajas සමත් වුනා.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන Asia Lions නියෝජනය කළ අතර, මෙවර Shahid Afridi වෙනුවට Misbah-ul-Haq විසින් Lions කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.

කාසියේ වාසිය පරාජය වීම නිසා Lions කණ්ඩායමට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව විසින් බිහි කළ ප්‍රබලතම ආරම්භ පිතිකරු යුගලයක් ලෙස සැලකෙන උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ශාන් විසින් Lions ඉනිම ආරම්භ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වල ස්වර්ණමය අතීතය වෙත නැවතත් ප්‍රේක්ෂකයින්ගේ මතකය රැගෙන යාමට සමත් වෙමින් ඩිල්ශාන් සහ තරංග විසින් පන්දුවාර 8 පන්දු 4ක් තුල Lions ඉනිම වෙනුවෙන් ලකුණු 73ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, තිලකරත්න ඩිල්ශාන් විසින් පන්දු 27කින් ලකුණු 32ක් ලබා සිටිය දී දැවී යාමෙන් අනතුරුව එම සබඳතාවේ නිමාව සනිටුහන් වුනා.

නමුත් ඩිල්ශාන්ගේ වෙන්ව යාමෙන් පසුවත් Lions ඉනිම තවදුරටත් ඉදිරියට රැගෙන යාමට උපුල් තරංග විශාල වෙහෙසක් දැරූ නමුත් තරගාවලිය පුරාවට සාර්ථක වූ Lions මැදපෙළ පිතිකරණය හිටි හැටියේම බිඳ වැටීම නිසා තරංග මත වැඩි බරක් පැටවුණු අතර ඔහු සිය ඉනිම අවසන් කරන විට පන්දු 48කින් ලකුණු 69ක් ලබා සිටියා.

කෙසේ වෙතත් නැවතත් Lions ඉනිමට ජීවයක් ගෙන ඒමට සමත් වූ හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Abdul Razzaq විසින් ලබා ගත් වේගවත් ලකුණු  27ක් ද සමඟින් නියමිත පන්දුවාර 20 අවසානයේ Asia Lions කඩුලු 5ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුනා.

Maharajas වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Harbajan Singh සිය පන්දුවාර 4 තුලම ලබා දුන්නේ ලකුණු 12ක් පමණක් වන අතර, Lions ඉනිමේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට ද ඔහු සමත් වුනා. ඊට අමතරව Suresh Raina විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Lions විසින් ලබා දුන් අභියෝගය භාර ගත්තේ තවත් විශේෂ ආරම්භක පිතිකරුවන් යුගලයක් විසින්. IPL තරගාවලියේ Kolkata Night Riders නියෝජනය කරමින් කලකට පෙර වාර්තාගත සබඳතා පිහිටුවීමට සමත් වූ Robin Uthappa සහ Maharajas නායක Gautam Gambhir විසින් ඊයේ Lions ලබා දුන් ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි අතර, ඔවුන් ලබා ගත් ඒ ආරම්භය නතර කිරීමට කිසිදු Lions පන්දු යවන්නකුට හැකියාව ලැබුණේ නැහැ.

එහි අවසන් ප්‍රතිඵල වුනේ පන්දුවාර 12 පන්දු 3ක් පමණක් වැය වෙද්දී කිසිවකු හෝ නොදැවී ලකුණු 159ක සබඳතාවක් පිහිටුවීමට ඔවුන් දෙදෙනා සමත් වීම සහ India Maharajas කණ්ඩායමට කඩුලු 10 ජයග්‍රහණයක් හිමි වීමයි.

මෙහි දී Robin Uthappa විසින් පන්දු 39කින් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ පිතිකරණ සගයා Gambhir විසින් පන්දු 36කින් ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් වුනා.

  • Asia Lions 157/5 (20) – උපුල් තරංග 69, තිලකරත්න ඩිල්ශාන් 32 (Suresh Raina 2/16)
  • India Maharajas 159/0 (12.3) – Robin Uthappa 88, Gautam Gambhir 61

ඒ අනුව තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට Maharajas කණ්ඩායම ඊයේ සමත් වූ අතර Legends league තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටත් ඔවුන් සමත් වුනා. කෙසේ වෙතත් තවමත් ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ Asia Lions කණ්ඩායමයි.

අද තරගාවලියේ විවේක දිනයක් වන අතර, මීළඟ තරගය Asia Lions සහ World Giants කණ්ඩායම් අතර හෙට (16) පැවැත්වීමට නියමිතයි.

Legends league Cricket තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<