බිරිඳගේ සංවේදී සටහනින් පසුව Kohliට ලැබෙන ප්‍රතිචාර තවත් ඉහළ යයි!

Border - Gavaskar Trophy 2023

330
Kohli's 28th century praised by all over the world

Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli විසින් වසර තුනකට ආසන්න සිය ටෙස්ට් ශතක හිඟයට නිමාව තැබීමට සමත් වුනා.

ඊයේ (12) තරගයේ සිව්වැනි දිනය නිමා වන විට තරගයේ ඉන්දීය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 570ක් ලෙස සටහන් වී තිබුණා. එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු Shubman Gill විසින් විශිෂ්ට ශතකයක් ලබා ගත් අතර, පසුව Virat Kohli විසින් තවත් විශිෂ්ට ශතකයක් රැස් කර ගැනීමට සමත් වුනා.

Kohli විසින් ලබා ගත් මෙම ශතකය ඉතා විශේෂ එකක් වන අතර වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට නොහැකි වූ Kohli ඊයේ සිය ඉනිම අවසන් කළේ ලකුණු 186 ක් ලබා සිටිය දීයි.

ඔහුට ඉතාම පහසුවෙන් සිය ද්විත්ව ශතකය කරා යාමේ අවස්ථාවක් තිබුනත්, අනෙක් අන්තයෙන් එකින් එක කඩුලු බිඳ වැටීම නිසා Kohli හට තරමක් ආක්‍රමණශීලී ලෙස පන්දුවට පහර දීමට සිදු වුනා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ සිය 8 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 14ක් මෙපිටින් සිටිය දී සිය ඉනිම නිමා කිරීමට සිදු වීමයි.

නමුත් මෙම ඉනිමෙන් පසුව Virat Kohliගේ බිරිඳ Anushka Sharma විසින් තැබූ Instagram සටහනක් නිසා Kohliගේ මෙම ඉනිම තවත් වැඩි වශයෙන් ඇගයීමට පාත්‍ර වෙමින් පවතිනවා.

“අසනීප මධ්‍යයේ මේ වගේ සංසුන්ව ක්‍රීඩා කිරීම. මාව හැමදාම දිරිමත් කරනවා.”

අසනීප මධ්‍යයේ Kohli විසින් මෙම ඉනිම දියත් කළ බව Anushka විසින් හෙලි කිරීමෙන් පසුව බොහෝ ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද Kohliගේ මෙම ඉනිම තවත් ඇගයීමට පාත්‍ර කර තිබෙනවා.

“ඔහුගේ වෘත්තීය ජීවිතය තුල වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වුනේ ශරීර යෝග්‍යතාවයයි. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඔහු මේ උණුසුම් තත්ව යටතේ පැය අටකට අධික කාලයක් පිතිකරණයේ යෙදුණා. මම හිතන්නේ නැහැ ඔහුට කඩුලු අතර දුවද්දී එකම ලකුණක් හරි මග හැරුණා කියලා.”

හිටපු ඉන්දීය වේගපන්දු යවන්නකු වන Ajith Agarkar විසින් එසේ Kohliගේ ඉනිම පිළිබඳ පවසනවා.

එමෙන්ම ඊයේ ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් Kohli සහ Axar Patel විසින් ලකුණු 162 ක දැවැන්ත සබඳතාවක් පිහිටවූ අතර ඒ වෙනුවෙන් Axar විසින් ලකුණු 72ක් එක් කළා.

“මම දන්නේ නැහැ. ඔහු කඩුලු අතර දුවපු විදිහට නම් ඔහු අසනීපයෙන් පසු වුනා කියලා පෙනුණේ නැහැ. හරිම උණුසුම් කාලගුණයක් තිබුණේ. එහෙම වෙලත් ඔහු ඉතා හොඳ සබඳතාවක් ගොඩනගමින් හොඳින් කඩුලු අතර දිවුවා. ඔහු සමග පිතිකරණයේ යෙදීම විනෝද ජනකයි.”

දිනය අවසානයේ මාධ්‍ය ඉදිරියට පැමිණි Axar Patel විසින් සිය පිතිකරණ සගයා පිළිබඳ සිනහ මුසුව අදහස් පළ කරේ ඒ ආකාරයෙන්.

Kohli සිය ශතකය වාර්තා කරන තෙක් ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබුණේ හතරේ පහර 5ක් පමණයි. ඒ මගින්ම ඔහු කෙතරම් කෙටි ලකුණු කරා දිව යන්න ඇත්ද යන්න සහ උණුසුම් කාලගුණ තත්ව යටතේ එවැනි ඉනිමක් දියත් කිරීම කෙතරම් අපහසු වන්න ඇති ද යන්න වටහා ගත හැකියි.

“Kohli සහ Axar දෙදෙනා තේරුම් ගත්තා මේ කඩුල්ලේ හතරේ සහ හයේ පහර ලබා ගැනීම ඉතා අපහසු බව. කළ යුතුව තිබුණේ ලොකු කාලයක් ගත කරමින් ඉනිම් ගොඩ නැගීමයි. ඒකම තමයි Virat විසින් සිදු කළෙත්. ඒ දවස අයිති Viratට.”

හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු Matthew Hayden විසින් Kohliගේ ඉනිම ඇගයීමට පාත්‍ර කළේ ඒ ආකාරයෙනුයි.

මේ අතර Virat විසින් ඊයේ ලබා ගත් ශතකය ඔහුගේ 28 වැනි ටෙස්ට් ශතකය මෙන්ම 75 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශතකය ද වුනා. ඒ අනුව ඔහු විසින් ජාත්‍යන්තර ශතක 75 කඩඉමට පැමිණි දෙවැනි පිතිකරු බවට පත් වීමට සමත් වූ අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජාත්‍යන්තර ශතක 100ක් ලබා ඇති ඉන්දියාවේ ම Sachin Tendulkar පමණයි.

Kohli විසින් Sachinගේ මෙම ශතක සියයේ වාර්තාව අබිබවා යාවි ද යන ගැටලුව කලක පටන්ම සාකච්ඡාවට බඳුන් වූ එකක් වුනත් පසු ගිය කාලයේ Kohli ගේ දුර්වල ක්‍රීඩා රටාව සමගින් එම කතාබහ තරමක් අඩු වී ගියා. නමුත් Kohli විසින් දැන් නැවතත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වී ඇති බව පෙනී යන අතර ඒ නිසාම පෙර කතා බහට නැවතත් පණ ලැබී තිබෙනවා.

මේ අතර මෙම කතාවට තවත් ජීවය ලබා දීමට හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නකු වන Harbajan Singh විසින් සමත් වී ඇත්තේ Kohli ට Tendulkar ගේ වාර්තාවට සම කිරීම පමණක් නොව එය ද ඉක්මවා යාමේ හැකියාව ඇති බව පවසමිනුයි.

“ඒක අනිවාර්යයෙන් ම කරන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ ඔහුට ශතක 100ට වඩා රැස් කරන්න පුළුවන්. දේවල් දෙකක් Virat ගේ වාසියට බලපානවා. එකක් ඔහුගේ වයස අනෙක ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. ඔහුට වයස අවුරුදු 34ක් වුනත් ඔහුගේ යෝග්‍යතාව අවුරුදු 24ක ක්‍රීඩකයෙක්ගේ වගේ. ඒ පැත්තෙන් බැලුවාම ඔහු ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔහු දැනටමත් ශතක 75ක් රැස් කරලා තියෙනවා. ඔහුට අඩුම තරමේ තවත් ශතක 50ක්වත් රැස් කරන්න පුළුවන්.

ඔබ හිතන්න පුළුවන් මම තරම ඉක්මවා යනවා කියලා. නමුත් එය කරන්න පුළුවන් කවුරුම හරි ඉන්නවා නම් ඒ Kohli විතරයි.”

ඊයේ Kohliගේ ඉනිම පුරාවටම වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ ශරීර යෝග්‍යතාව උලුප්පා දක්වමින් Harbajan විසින් මේ ප්‍රකාශය ඉතා විශ්වාසයෙන් යුතුව සිදු කරනා බවයි ඔහු නම් පවසන්නේ.

ඉන්දු – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අද වන අතර තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<