ගෙවුණු දවස මාර්තු 26 – ලුම්බිණි ක්‍රීඩකයෝ තවමත් අපරාජිතව පෙරමුණේ

851

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –
ඩී. එස්. ක්‍රීඩකයෝ වෙස්ලි හමුවේ පරාජය වේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් ඊයේ (26) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූයේ CR & FC පිටියේ දීයි. ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව තරගය නිමා වූයේ ලකුණු 05-00ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි.

පසුගිය සතියේ දී පැවති තරගයෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය හමුවේ ලකුණු 19-17ක් ලෙස පරාජය වූ අතර වෙස්ලි විද්‍යාලය ලකුණු 33-17ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය හමුවේ පරාජය වෙමින් මෙම තරගයට අවතීර්ණ විය. එබැවින් මේ කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් එකක් විය.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 – 05 (1T) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මුර්ශිඩ් සුබෙයිර් (වෙස්ලි විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: එක් උත්සාහක දිනුමකින් ඩී. එස් හමුවේ වෙස්ලි ජය ගනී


ලුම්බිණි ක්‍රීඩකයෝ තර්ස්ටන් ආක්‍රමණය මැඩපවත්වයි

කොළඹ ලුම්බිණි විද්‍යාලයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයත් අතර සිංගර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (26) කොළඹ හැව්ලොක් පිටියේ දී පැවති අතර එම තරගය ලකුණු 25-12ක් ලෙස ජයග්‍රහණය කළ ලුම්බිණි ක්‍රීඩකයින් B කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට සමත් විය.

 

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (3T,2C,2P) 25 – 12 තර්ස්ටන් විද්‍යාලය (2T,1C)

ThePapare.com තරගයේ වීරයා – සාගර සම්පත් (ලුම්බිණි විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: අපරාජිත කිරුළ රැක ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයින් තර්ස්ටන් මෙල්ල කරයි


ක්‍රිකට් –
වේල්ස් කුමරුවන් අවසන් අටට

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (26) ක්‍රියාත්මක වූ අතර සීමිත පන්දුවාර සුපිරි 16 දෙනාගේ තරග වටයේ තරගයක් ලෙස වේල්ස් කුමර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වූ තරගයෙන් ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

එම තරගයේ එක් ඉනිමක් අවසන් වූ පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගයේ ජයග්‍රහණය ලබා දුන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙනි.

වේල්ස් කුමර විද්‍යාලය –  282 (50): අවිඳු ප්‍රනාන්දු 75, සනෝජ් දර්ශික 67, සවිඳු පිරිස් 36, සුවත් මෙන්ඩිස් 29, විනුජ රන්පුල් 22, චමිඳු විජේසිංහ  3/54, සුහඟ විජේවර්ධන 3/54, ලක්ෂිත රසාංජන 2/33.

සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන් අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගිය කාසියේ වාසිය

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්