දෙවැනි වරටත් දෙවැනි නොවූ රත්නාවලී බාලිකාවෝ

19න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිය 2022/23

355

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පසුගිය දා සමත් වුනා.

ඔවුන් මෙවර මෙම ශූරතාව දිනා ගනු ලැබුවේ පිට පිට ම දෙවැනි වරටයි.

කණ්ඩායමේ සෑම කෙනෙක් ම ගොඩාක් කැපවීමෙන් කටයුතු කළා. පුහුණුවීම්වල දී වගේ ම තරගවලදීත් ඒ කැපවීම ඒ ආකාරයෙන් ම තිබුණා. මම විශ්වාස කරනවා ඒ කැපවීම තමයි අපේ ජයග්‍රහණයට ඉවහල් වුනේ කියලා, රත්නාවලී බාලිකා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාරිනිය අනුෂා ගුණසේකර මහත්මිය ThePapare.com සමඟ පැවසුවා.

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ජයග්‍රාහී ගමන් මග

ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 184ක ජයක්.
2 වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය රත්නාවලී බාලිකා විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
3 ඔක්කම්පිටිය විජයබාහු ද්විතීයික පාසල රත්නාවලී බාලිකා විද්‍යාලය කඩුලු 10ක ජයක්.
4 රත්ගම දේවපතිරාජ විද්‍යාලය දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 47ක ජයක්.
5 නුගේගොඩ අනුලා විද්‍යාලය රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 161ක ජයක්.
අවසන් මහා තරගය
6 රත්ගම දේවපතිරාජ විද්‍යාලය රත්නාවලී බාලිකාවන්ට ලකුණු 27ක ජයග්‍රහණයක්.

තරගාවලිය සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සමඟ රත්ගම දේවපතිරාජ විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ ඔක්කම්පිටිය විජයබාහු මහා විද්‍යාලය සහභාගී වුනා.

ඒ අතරින් කාණ්ඩ ශූරියන් ලෙසින් අපරාජිතව පළමු වටය අවසන් කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සහ දෙවැනි ස්ථානයට පත් රත්නාවලී බාලිකාවෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ ආනන්ද විද්‍යාලයිය ක්‍රීඩා පිටියේ දී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් රත්නාවලි බාලිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද, ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සිතූ සේ ඉනිමක් ගොඩ නැගීමට ප්‍රතිවාදී දේවපතිරාජ ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

දේවපතිරාජ ක්‍රීඩිකා මල්ෂි නිරාශා එක් පන්දුවාරයක් තුළ රත්නාවලී බාලිකාවන් තිදෙනෙක් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමත් සමඟින් ඔවුන්ගේ කඩා වැටීම සිදු වුනා. වරෙක රත්නාවලී ලකුණු පුවුරුව කියැවුණේ කඩුලු 8කට ලකුණු 60ක් ලෙසයි.

මේ අසීරු අවස්ථාවේ දී තම කණ්ඩායම ගොඩනැගීම ප්‍රමුඛ කාර්ය කර ගත් නායිකා විශ්මි ගුණරත්න එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් තම පිතිකරණය තවත් ශක්තිමත් කළේ  අනෙක් අන්තයේ සිටි නිපුනි ජයසිංහ ද ඊට එක් කර ගනිමින්. ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කළා.

එහි දී නිපුනි ලකුණු 20ක් ලබා ගත් අතර රත්නාවලී බාලිකා ඉනිම අවසන් වන විට විශ්මි පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 99ක් ලබා ගත්තා.

විශ්මිට මෙවර එක් ලකුණුකින් තම ශතකය අහිමි වූව ද, පසුගිය වසරේ අවසන් මහා තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී මල්ෂා නිරාශා ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර විහාරා සෙව්වන්දි කඩුලු 3ක් දවා ගත්තා.

ප්‍රතිවාදී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් විහාරා සෙව්වන්දි අර්ධ ශතකයක් වාර්තා කළ ද, ඔවුන්ගේ ඉනිම ලකුණු 128කට සීමා කිරීමට රත්නාවලී බාලිකාවෝ සමත් වුනා. විහාරා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නිපුනි ජයසිංහ ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත් අතර නිකේශා විජේසේකර කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු සටහන

  • ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය – සියලුම දෙනා දැවී 155 (39) විශ්මි ගුණරත්න නොදැවී 99, හසිනි විජේසිංහ 14, නිපුනි ජයසිංහ 20, විහාරා සෙව්වන්දි 3/41, මල්ෂි නිරාශා 4/18
  • දේවපතිරාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 128 (45.3) හිරුණි හංසිකා 15, විහාරා සෙව්වන්දි 53, නිකේශා විජේසේකර 2/30, නිපුනි ජයසිංහ 4/19

රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 27ක ජයක්

මේ ජයග්‍රහණය පිටුපස ඉන්න යෝධ ශක්තිය විදුහල්පතිනිය. ඇය මෙන් ම අපේ පුහුණුකරුවන්, ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් සහ සහයෝගය දක්වන්නන් සෑම කෙනෙක් ම මේ ජයග්‍රහණය පිටුපස ඉන්නවා.

අපිට පුහුණුවීම් කරන්න කියලා, අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් නැහැ. යන්තම් මැටිමක් එලාගෙන සෙල්ලම් කරන්න පුළුවන් තැනක් තියෙනවා. මේ ළමයි බාලිකා තරගාවලියන් පුරා ම දක්ෂතා දක්වන්නේ එවැනි අඩු-පාඩුවලට මුහුණ දෙමින්.

ඒ වුනත් ඔවුන්ගේ කැපවීම ඉතා ඉහළයි. මේ ළමයින් අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඉන්නවා. අපි ලබා ගත් සහ රටට අපෙන් ලබා දුන් සම්පත් ඔවුන්,” අනූශා ගුණසේකර මහත්මිය නැවත ThePapare.com සමඟ පැවසුවා

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම:

විශ්මි ගුණරත්න (නායිකාව) උමායා රත්නායක, චමාෂා එදිරිසිංහ, කාවින්දි විජේසේකර, හසිනි විජේසිංහ, නවෝද්‍යා ජයසිංහ, කාව්‍යා පෙරේරා, දෙව්මි විජේරත්න, ලක්මි ඉලංගසිංහ, දෙව්මිණි පබසර, කාවින්දි සුදර්ශනී, ඉඳුමිනි සිරිවර්ධන

නිලධාරීන් : එච්. ඒ. හේමා ජයවර්ධන (විදුහල්පතිනි)  අනූශා ගුණසේකර (ක්‍රීඩා භාර ආචාරිනි සහ ක්‍රිකට් භාර ආචාරිනි) ගයාන් මුණසිංහ (ප්‍රධාන පුහුණුකරු) සෙනේශ් නදීශාන් (සහාය පුහුණුකරු)

රත්නාවලී බාලිකා විද්‍යාලය වෙනුවෙන් තරගාවලිය පුරා දක්ෂතා දැක්වූවන් අතර ඉහළින් ම කියැවෙන්නේ නායිකා විශ්මි ගුණරත්නගේ නම. ඇය මුහුණ දුන් තරග 6 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 344ක්.

U19 Girls Cricket Tournamentඑමෙන් ම ජයග්‍රාහී රත්නාවලී බාලිකා විද්‍යාලය සතුව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම සිටින අතර ඒ අතරින් දෙව්මි විහංඟා සහ හසිනි විජේසිංහ ඉදිරියෙන් ම කියැවෙනවා. දෙව්මි විහංඟ ලකුණු 142ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් ද, හසිනි විජේසිංහ ලකුණු 100ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් එම ලැයිස්තුව සැරසුවා.

ඊට අමතරව පන්දු යැවීමේ දී කණ්ඩායම වෙනුවෙන් වැඩිම දක්ෂතා දැක්වූ නිකේශා විජේසේකර පිතිකාරිනියක් ලෙසින් ද ලකුණු 50 සීමාව පසු කිරීමට සමත් වුනා. ඇය අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 2ත් සමඟින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 16ක්.

නිපුනි නවෝද්‍යා පිතිකාරිනියක් ලෙසින් ලකුණු 50 සීමාව පසු කරද්දී, පන්දු යවන්නියක් ලෙසින් කඩුලු 11ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි අසුන හිමිකර ගත්තා.

පිතිකාරිනියන් අතරින් කාව්‍යා පෙරේරා සහ නිකේශා විජේසේකර ද ලකුණු අතර සිටිමින් තම දක්ෂතා රත්නාවලී බාලිකාවන් වෙත ලබා දුන්නා.

ඔවුන් සැම එක්ව වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර බාලිකා ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<