ශ්‍රී ලංකාවේ පරාජය වෙනුවෙන් ඉන්දියාව බලා සිටි බව Dravid කියයි

Sri Lanka Tour of New Zealand 2023

274

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා.

නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම උද්දාමයකට පත් වුනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එරට ප්‍රේක්ෂකයින් බවයි සමාජ මාධ්‍ය මෙන්ම විදෙස් වෙබ් අඩවි පිරික්සද්දී පෙනී යන්නේ.

ඊයේ නවසීලන්තය සමඟ තරගය අවම වශයෙන් ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශිෂ්ට උත්සාහයක් දැරුවත්, Kane Williamson විසින් රැස් කළ විශිෂ්ට ශතකය මෙන්ම නවසීලන්තය පසු පෙළ පිතිකරුවන්ගෙන් ඔහු ලද අනගි සහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වුනා.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය පුරාවටම දැක්වූ ක්‍රීඩාශීලීත්වය විශේෂයෙන්ම ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අගය කිරීම් වලට භාජනය වුනා.

නමුත් මෙම පරාජයෙන් පසුව තවදුරටත් ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් බලාපොරොත්තු තබා හිඳීමෙන් ඵලක් වන්නේ නැහැ.

නමුත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වන තරමටම ඉන්දීය බලාපොරොත්තු ඉහළ දැමූ මේ තරගයට සමගාමීව තවත් ටෙස්ට් තරගයක් ඉන්දියා සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැත්වුණා.

එම තරගයත් ඊයේ දිනයෙන් අවසන් වූ අතර, එම තරගය ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම් සාමාජිකයින්ගේ ද වැඩි අවධානයක් ඊයේ දිනයේ දී නම් වෙන් වී තිබුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට බවයි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසින් පවසන්නේ.

“අපි ක්‍රීඩා කරන සෑම ටෙස්ට් තරගයකින් ම ප්‍රතිඵලයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. WTC අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අපේ අතේම තබා ගන්න නම් (ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලියේ ප්‍රතිඵලයෙන් බලපෑමක් එල්ල නොවෙන ලෙස) මේ තරගාවලිය තරග 3-1ක් විදිහට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව අපි දැන ගෙන හිටියා.

අහමදාබාද් තණතීරුව මුලින් ම දැක්ක ගමන් අපිට තේරුණා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත් බව. පසුව තරගයේ මුල් දින දෙකේ ඕස්ට්‍රේලියාව පිතිකරණයේ යෙදුණු විදියෙන් අපිව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තීරණය මත යැපෙන්න පෙළඹෙව්වා.”

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කළහොත් ඉන්දීය කණ්ඩායමට පහසුවෙන්ම WTC අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලැබීමේ හැකියාව තිබූ අතර, තරගාවලියේ සිව්වැනි තරගය වන විට 2-1ක් ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටියා. නමුත් සිව්වැනි තරගයට ලද තණතීරුවේ ස්වභාවය අනුව ටෙස්ට් ලෝක ශූරයින් වීමේ බලාපොරොත්තුව නවසීලන්තය වෙතට පැවරූ බව Dravid පවසනවා.

“ශ්‍රී ලංකාව ජයග්‍රහණය නොකරාවී කියන බලාපොරොත්තුවෙන් අපි බලා ගෙන හිටියා. ලෝක ටෙස්ට් ශූරතාවය කියන්නේ අවුරුදු දෙකක් පුරා දිවෙන තරගාවලියක්. හැම කණ්ඩායමක් ම ටෙස්ට් තරගාවලි හයක් ක්‍රීඩා කරනවා. ඒ නිසා ඔබ අනිත් අය මත යැපෙනවා කියන දේ ස්වාභාවික දෙයක්. ඔබ ඔබේ උපරිමය ලබා දිය යුතුයි, නමුත් මේ වගේ තරගාවලි වල දී ඔබට අනිත් කණ්ඩායම් මත යැපෙන්න සිදු වෙනවා.

ICC තරගාවලිවල දී අපිව වැඩියෙන්ම ඉවතට විසි කළ කණ්ඩායමක් වන නවසීලන්තය අපිට පොඩි සහයක් ලබා දීම තමයි හොඳම දෙය. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.”

එමෙන්ම ඊයේ නවසීලන්ත – ශ්‍රී ලංකා තරගයේ අවසන් පන්දුවාර පහ තුල දී නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 37ක් අවශ්‍යව තිබූ අතර එම අවස්ථාව සිය ක්‍රීඩාගාරය පවා උණුසුම් කළ බවත් Dravid  තවදුරටත් ප්‍රකාශ කළා.

“නවසීලන්තය තරගය ජය පරාජයෙන් තොරව අවසන් නොකර ජයග්‍රහණය කරා යන්න ගත්තු තීරණය අපිවත් පීඩනයට පත් කළා. අපිත් ඒ ගැන කතා බහ කළා.

ඇත්තටම ඒ තරගයේ අවසන් පන්දු වාර 5-6 අපි දිවා ආහාරය අතරතුර දී උද්‍යෝගිමත්ව නැරඹුවා.”

අවසන් පන්දුව තෙක් තියුණු ලෙස ඇදී ගිය මෙම තරගය Rahul Dravid ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමේ මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රජාවගේ ද දැඩි අවධානයට තුඩු දුන් බව සමාජ මාධ්‍ය ජාල පිරික්සද්දී පෙනී උයන කරුණක්.

මේ ඒ සඳහා උදාහරණ කිහිපයක්;

“කවුද කියන්නේ සඳුදා කියන්නේ කම්මැලි දවසක් කියලා”

“සැබෑම ජයග්‍රාහකයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි.”

“ටෙස්ට් තරගයක් 5 වැනි දිනයේ අවසන් පන්දුවෙන් ජයග්‍රහණය කරනවා!”

“Kane Williamson සහ Daryl Mitchellගෙන් විශිෂ්ට ඉනිම් දෙකක්. නවසීලන්තය දිගටම තියුණු ටෙස්ට් තරග ක්‍රීඩා කරමින් ටෙස්ට් ක්‍රිකට් වල විශිෂ්ටත්වය ඔප්පු කරනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<