තණතිල්ල ගැන දැන ගෙන හිටියට එංගලන්තයට දිනන්න බැරි වුනා

England tour of Bangladesh

362

එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (12) පැවැත්වුණු අතර, එම තරගයත් ජය ගැනීමට සමත් වූ බංග්ලාදේශ කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

1986 වසරේ පටන් අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බංග්ලාදේශය විසින් ඊයේ වන තෙක් එංගලන්තය හැර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට සමත් වී තිබූ අතර ඊයේ පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන්ට එය පරිපූර්ණ තත්වයක් දක්වා රැගෙන ඒමට හැකියාව ලැබුණා.

මෙම තරගය වෙනුවෙන් කලකට පසු බංග්ලාදේශ කණ්ඩායමට එක් වීමට සමත් වූ Mehidy Hasan Miraz විසින් විශිෂ්ට දස්කම් දැක්වූ අතර ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

“හැම ක්‍රිකට් තරගාවලියක් ම වැදගත් ඒ වගේම ඕනෑම කණ්ඩායමකට එරෙහිව ජයග්‍රහණය කරන්න හැකි වීමෙන් අපි සතුටට පත් වෙනවා. ඔබට කියන්න බැහැ මේ මේ කණ්ඩායම් පරාජය කිරීම හොඳයි කියලා. ඕනම කණ්ඩායමක් පරාජය කිරීමෙන් අපිට දැනෙන්නේ එකම හැඟීම. මොකද හැම දෙයකටම පස්සේ දිනලා තියෙන්නේ බංග්ලාදේශය.”

තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය හිමි කර ගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකි වූ Miraz එසේ පවසා සිටියා.

“හැමෝම සතුටින් ඉන්නේ. ලොකු කණ්ඩායමක් පරාජය කිරීම සතුටක්. ඒ වගේම හැම කණ්ඩායමකට ම එරෙහිව තරගාවලි ජයග්‍රහණය කරලා තිබුණු අපිට ළඟා වෙන්න ඉතුරු වෙලා තිබුණේ එංගලන්තයට විතරයි. අද (12) එංගලන්තයට එරෙහිව ලබපු මේ විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය එක්ක අපිට කියන්න පුළුවන් අපි හැම කණ්ඩායමක්ම පරාජය කරලා තරගාවලි දිනලා තියෙනවා කියලා.”

ඊයේ තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් මෙන්ම, අඩු ලකුණු වාර්තා වූ තරගයක ඉතාම වටිනා ලකුණු විස්සක් ද සිය පිත්තෙන් වාර්තා කිරීමට සමත් වූ Miraz තව දුරටත් පවසා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 117ක් පමණක් වන අතර, බංග්ලාදේශය විසින් එය හඹා යාමේ දී ද තරමක් අසීරුතාවකට පත් වුනත් කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් වුනා.

එමෙන්ම Mehidy Hasan Miraz මෙවර කණ්ඩායම සමඟ එක් වන්නේ මාස පහකට පමණ ආසන්න කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමෙන් පසුව වන අතර නැවත කණ්ඩායමට එක් වී තරගයේ වීරයා සම්මානයක් දිනා ගනිමින්ම නව ගමනක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ තමන් විශේෂයෙන්ම සතුටට පත්වන බවත් Miraz විසින් මෙහි දී සඳහන් කළා.

මේ අතර තරගය පරාජය වීමෙන් පසුව මාධ්‍ය ඉදිරියට පැමිණි එංගලන්තය නායක Jos Buttler ප්‍රකාශ කළේ තම කණ්ඩායම තවත් ලකුණු 10/15 ක් පමණ රැස් කර ගත යුතුව තිබූ බවයි.

“කඩුල්ල මේ විදිහට හැසිරේ වී කියලා අපි බලාපොරොත්තු වුනා. අපි මෙහේ (Mirpur ක්‍රීඩාංගණයේ) එක්දින තරග දෙකකුත් ක්‍රීඩා කළා. මේ හා සමාන විදිහට තමයි අපි ඒවගෙත් ක්‍රීඩා කළේ. මම හිතන්නේ අපි මෙහේ අභියෝගය මොකක්ද කියලා දැන ගෙන හිටියා. ඔබට ඒවට අනුකූලව හැඩ ගැහිලා හොඳින් ක්‍රීඩා කරන්න සිදු වෙනවා.”

තරගාවලියේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිත අතර එම තරගයත් ඊයේ තරගය පැවැත්වුණු Mirpur ක්‍රීඩාංගණයේ ම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<