ලකුණු 356ක් රැක ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

2247

ශූරයින්ගේ කුසලානයට පෙර පැවති දෙවැනි පුහුණු තරගයෙන් ද කඩුලු 6ක පරාජයක් විඳ දරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (30) සිදු විය. ඒ නවසීලන්තයට එරෙහිව රැස් කර ගත් ලකුණු 356ක දැවැන්ත ලකුණු පුවරුව ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. පිතිකරණ පාරාදීසයක පැවති මෙම තරගයේ දී සියලුම ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්විය.

පිටියේ කතා – ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට හැකි වෙයි ද?

ශූරයින්ගේ කුසලානය පිළිබඳව කෝසල සුරේෂ්චන්ද්‍ර සහ මලින්ද වර්ණපුර දරණ මතයන් මෙවර පිටියේ කතා තුලින්.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් දුරින් අඩු හතරේ සීමා සහිත බර්මින්හැම් තණතීරුවේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ ලැබෙන ඕනෑම ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ වගකීම භාර ගනිමිනි. ඒ අනුව දික්වැල්ල සහ තරංග සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉනිම අරඹමින් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක් එක් කළහ. ඒ අඩු දුර හතරේ සීමාවල වාසිය ද මැනවින් භාවිතා කරමිනි.

පළමු කඩුල්ල ලෙස ලකුණු 25ක් ලබා සිටි දික්වැල්ල දැවී යාමෙන් අනතුරුව යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමඟින් එක්වුණු උපුල් තරංග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගීය. එතකින් නොනැවතුනු තරංග පන්දු 104කින් ලකුණු 110ක් ද රැස් කිරීමට ද සමත් විය. මෙම තරගය සඳහා නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගි නොවීම නිසා වැඩ බලන නායක වශයෙන් තරංග වාර්තා කළ මෙම විශිෂ්ට ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 57යි.

වෙනදාට සාපේක්ෂව වේගවත් ඉනිමක් ගොඩ නැගූ දිනේෂ් චන්දිමාල් පන්දු 46කින් ලකුණු 55ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ එක් හයේ පහරකින් අලංකාරවත් විය. තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ පිතිකරණ දක්ෂතා මැන බැලීමට ඔහුට ඊයේ අංක 5 පිතිකරු ලෙස උසස්වීම් හිමිවුවද ඔහු ලකුණු 10කට සීමා විය. කෙසේ වෙතත් කුසල් පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න පිළිවෙළින් ලකුණු 38 සහ 23 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 356ක් දක්වා ගමන් කිරීමට මාර්ගය පිළිසකර කර දුන්හ.

[rev_slider ct17-dsccricket]

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළේ නිත්‍ය පිතිකරුවෙකු ලෙස කටයුතු කරන චාමර කපුගෙදර ඊයේ නුවන් කුලසේකරටත් වඩා පහළින් අංක 9 පිතිකරු ලෙසින් කටයුතු කිරීම විස්මය දනවන කරුණක් බවට පත්විය. පන්දුවාර 50 අවසන් වන විට කපුගෙදර නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 15කි. පන්දු යැවීමේ දී නවසීලන්ත පිළේ අත්දැකීම් සහිත වේග පන්දු යවන්නන් දෙපළ වන ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුලු ද්විත්වය බැගින් දවාගත් අතර ග්‍රැන්ඩ්හොම්, මිල්න් සහ මැක්ලනගන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා පිළෙන් හිමි වූ ඉලක්කය දැවැන්ත වුවත් බර්මිංහැම් ක්‍රීඩාංගණයේ ඇති අඩු දුර තණතිලි වලින් නිසි ඵල නෙලාගත් නවසීලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 46යි එක් පන්දුවක් තුල අදාළ ඉලක්කය පසුකර ගියේය. ඒ වන විට නවසීලන්ත පිළේ කඩුලු 4ක් දැවී ගොස් තිබූ අතර පිටියේ තත්ත්වයට හැඩ ගැසීමෙන් අනතුරුව මාර්ටින් ගප්ටිල් සහ නායක විලියම්සන් පිටිය හැර ගියහ. මීට පෙරත් ශ්‍රී ලංකාව හමුවේ මල්වෙඩි සංදර්ශන පවත්වා අත්දැකීම් ඇති ගප්ටිල් ඊයේ දිනයේ දීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකරමින් වේගවත් ලකුණු 116ක් රැස් කළේය.

සෑම පන්දු යවන්නෙකුටම අත දිගහැර සංග්‍රහ කිරීමට පසුබට නොවූ ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. ටොම් ලැතම් ලකුණු 44යි. නායක කේන් විලියම්සන් ද පන්දු 60කින් ලකුණු 88ක් රැස් කිරීමෙන් අනතුරුව පිටිය හැර යාමට තීරණය කළේය. නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් සියලු දෙනාම දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය නිසාවෙන් අවශ්‍ය ලකුණු වේගය ඉතාමත් අඩුවී තිබුණු නිසා ඔවුන්ට ලකුණු 357ක් හඹා යාම පවා ගැටලුවක් වූයේ නැත.

ඔවුන් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරන විට නීල් බෲම් ලකුණු නොදැවී ලකුණු 37ක් ද, කුරේ ඇන්ඩර්සන් ලකුණු 50ක් ද ලබා සිටියේය. පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න පමණක් කඩුලු 2ක් බිඳ හෙලීය. මාලිංග ක්‍රීඩා නොකළ මෙම තරගයේ ලක්මාල්, කුලසේකර සහ ප්‍රදීප් යන ඉතිරි වේග පන්දු යවන්නන් තිදෙනාම කඩුලු දවා ගැනීමට අපොහොසත් වීම ශූරයින්ගේ කුසලානයට පෙරම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රශ්නාර්ථයක් මතුකොට තිබේ. තරගයේ අවසන් කොටසේ දී කපුගෙදරට ලබා දුන් පන්දුවාර 2දී ද නවසීලන්ත පිතිකරුවන් ලකුණු 33ක්ම උදුරා ගත්හ.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති පුහුණු තරග 2ම පරාජයෙන් කෙළවර වී ඇති නිසා හෙටින් ඇරඹෙන ශූරයින්ගේ කුසලානයේ තීරණාත්මක තරගවල දී දැඩි වගකීමකින් තරග කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඒ පුහුණු තරග වලට වඩා කිහිප ගුණයක තරගකාරීත්වයක් ශූරයින්ගේ කුසලාන තරගයක දී ඇති වන බැවිනි. නමුත් තරංග, මැතිව්ස්, අසේල ඇතුළු පිතිකරුවන් දක්ෂතා අතර සිටිය ද පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් නිසි රිද්මයේ නොසිටීම ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කර තිබේ. මේ සියල්ල මැද ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ලබන 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව කෙනින්ටන් ඕවල් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 356 (පන්දුවාර 50): උපුල් තරංග 110, කුසල් මෙන්ඩිස් 57, දිනේෂ් චන්දිමාල් 55, කුසල් ජනිත් පෙරේරා 38, නිරෝෂන් දික්වැල්ල 25, සීක්කුගේ ප්‍රසන්න 23, ට්‍රෙන්ට් බෝල්ට් 2/47, ටිම් සවුති 2/48, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 1/16.

නවසීලන්තය – කඩුලු 4ක් දැවී ලකුණු 359 (පන්දුවාර 46.1): මාර්ටින් ගප්ටිල් 116, කේන් විලියම්සන් 88, කුරේ ඇන්ඩර්සන් 50*, ටොම් ලැතම් 44, නීල් බෲම් 37*, සීක්කුගේ ප්‍රසන්න 2/63.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට