තරුෂි රන් දිනද්දී, සහය දිවීමේ ජාතික වාර්තාවත් රනින් අලුත් වෙයි

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

598

දකුණු කොරියාවේ දී පැවැත්වෙන 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ අද (05) රන් පදක්කමක් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ මැදිදුර ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නයි. බාලිකා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ඇය මිනිත්තු 2:06.64ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

තරුෂි තරගාවලියේ දිනා ගත් දෙවැනි පදක්කම මෙය වූ අතර එයින් කෙටි වෙලාවකට පසු තෙවැනි පදක්කම සිය පදක්කම් මල්ලට එක් කර ගැනීමට ඇය සමත් වුනේ මිශ්‍ර 4X400m ඉසව්ව නියෝජනය කරමිනුයි.

ජයග්‍රහණය තරමක් තීරණාත්මක වූ එම ඉසව්වේ අවසන් වටයේ දී ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම රන් පදක්කමකට ගෙන යාමට ඇයට හැකි වූ අතර  මිනිත්තු 3:24.41ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එම අවසානයත් සමඟ මිශ්‍ර 4X400m ඉසව්ව සඳහා මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව (මිනිත්තු 3:26.39) බිඳ හෙළීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයක්. තරුෂිට අමතරව ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ සහ ශෙහාන් දිල්රංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙම ඉසව්වට සහභාගී වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දිනයේ අනෙක් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ තුන් පිම්ම ක්‍රීඩක මලිත් යසිරුයි. මීටර් 15.82ක දස්කමක් දක්වමින් ඔහු ලෝකඩ පදක්කම දිනා ගත් අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දස්කම ලෙස ද සටහන් වුනා.

අද දිනයේ පැවති බාලිකා මීටර් 100 අවසන් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනාරා බණ්ඩාර සහභාගී වූ අතර තත්පර 12.04ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ අටවැනි ස්ථානයයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ විනෝද් ආරියවංශ තත්පර 54.51ක කාලයකින් පස්වැන්නා ලෙස ඉසව්ව අවසන් කළත් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනේ නැහැ.

තරගාවලියේ තවත් තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත අතර එම ඉසව්වල තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<