ඉන්දියාවට යන්න බලන් ඉන්න පාකිස්තානයට වීසා ගැටලුවක්!

ICC Cricket World Cup 2023

1740

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තවමත් වීසා නොලැබීම නිසා ගැටලු මතු වී ඇති බව වාර්තා වනවා.

පසුගිය සිකුරාදා වන විටත් ඉන්දියාවට යාම සඳහා වීසා බලාපොරොත්තුවෙන් සිටි පාකිස්තාන කණ්ඩායමට අදාළ වීසා නොලැබීම නිසා ඔවුන් මීළඟ සතිය මුල දී ඩුබායි හිදි පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු කඳවුරක් ද අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

මෙම මස 29 වැනිදා නවසීලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගයට සහභාගී වීමට පෙර ලබන සතිය මුල දී ඩුබායි වෙත පියාසර කරමින් මෙම පුහුණු කඳවුරට සහභාගී වීමට පාකිස්තානය බලාපොරොත්තුවෙන සිටියත්, දැන් තත්වය අනුව ඔවුන් එළඹෙන බදාදා (27) ඩුබායි වෙත පියාසර කර එතැනින් හයිද්‍රාබාද් වෙත පියාසර කිරීමටයි තීරණය කර ඇත්තේ.

ආසියානු කුසලානය නිමා කර නැවත සිය රටට පැමිණි පාකිස්තාන කණ්ඩායම විසින් මීට සතියකට පමණ පෙර මෙම වීසා ඉල්ලුම් කර ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. එමෙන්ම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත රටවල් 9 අතරින් තවමත් වීසා ලැබී නොමැති එකම රට වන්නේ ද පාකිස්තානයයි.

එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC වෙත දැනුම් දී ඇති බව සහ ඔවුන් ඒ වෙනුවෙන් ICC වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව Hindustan Times වාර්තා කරනවා.

ප්‍රමාද වී හෝ පාකිස්තානයට වීසා ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වුවත්, දෙරට අතර පවතින දේශපාලනික අර්බුද නිසා මෙයට එල්ල වන අවධානය තරමක් ඉහළ ගොස් තිබෙනවා.

2008 දී ඉන්දියාවේ සිදු වූ මුම්බායි ප්‍රහාරයෙන් අනතුරුව ඊට පෙර පටන් දෙරට අතර පැවති සීමා සහිත සංචාර තවදුරටත් සීමා වූ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශවීය ක්‍රිකට් තරගාවලිය දැන් සංවිධානය නොවන තරම්. මේ නිසා ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක දී හැරෙන්නට දෙරට අතර ක්‍රිකට් තරග දැක ගැනීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ.

මීට අමතරව නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ද පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, ඉන්දියාව ඒ වෙනුවෙන් පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කළ නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ සම සත්කාරකත්වය හිමි වුනා.

එමෙන්ම 2025 වර්ෂයේ දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානය සම්බන්ධව ද මෙම ගැටලුව උද්ගත වනු ඇතැයි අපේක්ෂා කළ හැකි.

මෙම ගැටලු නිසා පාකිස්තානය ද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කරාවි ද යන්න මීට පෙර කතාබහට ලක් වුනා. නමුත් පසුව පාකිස්තාන රජය මගින් සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට යෑමට අවසර ලබා දුන්නා.

එමෙන්ම ලෝක කුසලාන කාලසටහන ප්‍රකාශ කිරීමෙන් පසුව පවා ඉන්දු – පාකිස්තාන තරගය පැවැත්වීමට නියමිත දිනය වෙනස් කිරීමට ද සිදු වූ අතර මෑතක දී දැන ගැනීමට ලැබුණේ පාකිස්තානය සහ නවසීලන්තය අතර පුහුණු තරගයත් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව* පැවැත්වීමට නියමිත බවයි.

*.තරගය පැවැත්වීමට නියමිත ප්‍රදේශයේ එම දිනයේ ම ප්‍රධාන ආගමික උත්සව දෙකක් පැවැත්වීමට නියමිත බැවින් තරගයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බවට සහතික වීමට පොලිසිය අසමත් වීම නිසා.

මේ අතර මෙවර ඉන්දියාවට යෑමට නියමිත පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් මීට පෙර ඉන්දියාවේ සංචාරය කර ඇත්තේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ සිටි Mohommad Nawaz සහ Champions League T20 තරගාවලියට සහභාගී වූ Lahore Lions කණ්ඩායම නියෝජනය කළ Agha Salman පමණක් වීමත් විශේෂත්වයක්.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<