2024 T20 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක

T20 World Cup 2024

1058

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද සත්කාරකත්වය යටතේ සංවිධානය කරන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග පැවැත්වීමට නියමිත කැරිබියන් දූපත් හතක් ඊයේ (23) දිනයේ දී ICC විසින් නිවේදනය කළා.

කැරිබියන් දූපත් සමූහයේ Antigua සහ Barbuda, Barbados, Dominica, Guyana, Saint Lucia, St. Vincent සහ the Grenadines  සහ Trinidad සහ Tobago යන දූපත්වල දී මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ICC විසින් නිවේදනය කළ අතර මීට පෙර එක්සත් ජනපදයේ Dallas, Florida සහ New York යන නගරවල දී ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත බව ඔවුන් නිවේදනය කළා.

මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම විස්සයි විස්ස ලෝක කුසලානය ලෙස කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් ලබන වසරේ ජුනි 04 වැනිදා සිට ජුනි 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට නිමා වුනු විස්සයි විස්ස ලෝක කුසලානයේ මුල් ස්ථාන 8 දිනා ගත් එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවත් ඉන්පසු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටි ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයත් සෘජු සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම තරගාවලියේ සත්කාරක රටවල් ලෙස බටහිර ඉන්දීය කොදෙව්, ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් සහ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාවත් මේ වන විට ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා.

මීට අමතරව ඇමරිකා, ආසියා සහ අප්‍රිකා මහද්වීප සඳහා පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිවලින් තවත් කණ්ඩායම් පහක් ද මෙම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරග 55කින් සමන්විත මෙම තරගාවලිය කැරිබියන් දූපත් සමූහයේ පැවැත්වෙන තෙවැනි (පිරිමි) ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන අතර එය එහි ක්‍රිකට් රසිකයින්ට විශේෂ අත්දැකීමක් වනු ඇති බව ICC ප්‍රධාන විධායක Geoff Allardice මහතා විසින් සඳහන් කර තිබුණා.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විධායක නිලධාරි Johnny Grave විසින් සඳහන් කළේ, ඉතා විශිෂ්ට මට්ටමේ ලෝක කුසලාන තරගාවලි අත්දැකීමක් ලෝක ක්‍රිකට් ප්‍රජාවට සමීප කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<