BPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් නම් රැසක්!

BPL 2024

3946

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) 2024 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය අද (24) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. 

ලබන වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත 10 වැනි BPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හතේ ක්‍රීඩක අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් රැසකගේ නම්  ලැයිස්තු ගත කර තිබෙනවා. 

අද දිනයේ දී පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 443 දෙනෙකු කෙටුම්පත් කර ඇති අතර, දේශීය (බංග්ලාදේශ) ක්‍රීඩකයින් 203 දෙනෙකු ද නම් කර තිබෙනවා. එමෙන්ම එම ක්‍රීඩකයින් A,B,C.. ලෙස කාණ්ඩ හයකට බෙදා වෙන් කර තිබෙනවා. 

මෙහි දී A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ තවත් ක්‍රීඩකයින් මෙම වෙන්දේසියට එක් වී තිබෙනවා. 

එමෙන්ම මීට අමතරව අනෙක් කාණ්ඩවලින් ඉසුරු උදාන, දිනේශ් චන්දිමාල්, ධනිශ්ක ගුණතිලක, අශේන් බන්ඩාර වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රැසක් මෙවර වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයක්.

ඔවුන්ට අමතරව ජාත්‍යන්තර වශයෙන් විස්සයි විස්ස පිටියේ නම රැඳවීමට සමත් වූ Colin de Grandhomme, Shai Hope, Shan Masood, Ryan Burl වැනි ක්‍රීඩකයින් රැසක් මෙවර වෙන්දේසිය සමඟ එක් වී තිබෙනවා. 

මෙම ක්‍රීඩකයින් අතුරින් 2024 BPL නියෝජන කිරීමට වරම් ලබන අය කවුරුන් ද යන වග අද දිනයේ සවස් කාලය වන විට දැන ගැනීමට ලැබේ වී. 

මේ අතර බංග්ලාදේශ නායක Shakib Al Hasan මීට පෙර BPL තරගාවලියේ දී නියෝජනය කළ Fortune Barisal කණ්ඩායමෙන් Rangpur Riders කණ්ඩායම වෙත මාරු වී ඇති අතර, තවත් ප්‍රවීණ බංග්ලාදේශය ක්‍රීඩකයකු වන Tamim Iqbal Khulna Tigers සිට Fortune Barisal වෙත සිය කණ්ඩායම වෙනස් කර තිබෙනවා. 

එමෙන්ම මීට පෙර බංග්ලාදේශයෙන් වාර්තා වුනේ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද Shakib Al Hasan ක්‍රීඩා කරන Rangpur Riders කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි. 

2024 BPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz සහ Cricfrenzy ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<