යොවුන් ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ICC 19න් පහළ ලෝක කුසලානය 2024

450

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත 2024 ICC වයස අවුරුදු 19න් පහළ බාලක ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන අද (22) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. 

කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

15 වැනි වරට සංවිධානය කරනු ලබන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මින් පෙර අවස්ථා දෙකක දී සත්කාරකත්වය දරා තිබෙනවා.  

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජනවාරි 13 වැනිදා සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන ඉන්දියාව 2020 වසරේ දී ශූරතාවය දිනා ගත් බංග්ලාදේශය සමඟින් 14 වැනිදා තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලිය තරමක් සුවිශේෂි එකක් වන්නේ එහි ආකෘතියේ තරමක වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති නිසාවෙනුයි. ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ D ලෙස කාණ්ඩ 4කට වෙන් කර තිබෙන අතර එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 3ම මෙවර සුපිරි 6 දෙනාගේ වටය සඳහා තරග කිරීමට නියමිතයි. කාණ්ඩ වටයේ තරග ජනවාරි 13 වැනිදා 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

Group A  Group B  Group C  Group D 
India  England  Australia  Afghanistan 
Bangladesh  South Africa  Sri Lanka  Pakistan 
Ireland  West Indies  Zimbabwe  New Zealand  
USA  Scotland  Namibia  Nepal 

ඊට අමතරව, එක් එක් කාණ්ඩයේ අවසන් ස්ථානය දිනා ගත් කණ්ඩායම් 4 එකිනෙකා සමඟ තවත් තරගයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන් තරගාවලිය අවසන් කිරීමට නියමිතයි. 

ඒ අනුව කාණ්ඩ වටය අවසානයේ තෝරා ගනු ලබන කණ්ඩායම් 12ක් සුපිරි 6 වටය සඳහා තරග වැදීමට නියමිතයි. සුපිරි වටය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් නැවත වරක් A සහ B ලෙස කාණ්ඩ දෙකකට වෙන් කිරීමට නියමිත අතර ඊට A සහ D කාණ්ඩ නියෝජනය කරමින් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 3 A කාණ්ඩයටත්, B සහ C කාණ්ඩවලින් තෝරා ගනු ලබන කණ්ඩායම් B කාණ්ඩය යටතේත් තරග වැදීමට නියමිතයි. 

සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 6 එකිනෙකා සමඟ තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව A සහ B කාණ්ඩයේ ප්‍රථම ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. අවසන් පූර්ව වටය ජය ගන්නා කණ්ඩායම් 2 පෙබරවාරි 4 වැනිදා SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත පුහුණු තරග ජනවාරි 6 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියට සහභාගී වන කණ්ඩායම්: 

  • සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම්: ශ්‍රී ලංකාව (සත්කාරක), ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ 
  • කලාපීය සුදුසුකම් හරහා: නැමීබියාව (අප්‍රිකානු කලාපය), නේපාලය, නවසීලන්තය (EAP කලාපය), ස්කොට්ලන්තය (යුරෝපා කලාපය), ඇමරිකා එක්සත් ජනපදය (ඇමරිකා කලාපය). 

තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ: NCC, CCC, SSC, පී සරා ඕවල්, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<