පාකිස්තානය සමඟ තරගයට මහීෂ් සූදානම්!

ICC Cricket World Cup 2023

1338
ICC Cricket World Cup 2023

ආබාධයක් නිසා මාසයකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හෙට (10) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට සහභාගී වීමට යෝග්‍ය මට්ටමක පසු වන බව වාර්තා වනවා.

නිමා වූ ආසියානු කුසලානයේ පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයේ දී මහීෂ් ආබාධයකට ලක් වූ අතර එම නිසා ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වුණු ආසියානු කුසලාන අවසන් තරගයට මෙන්ම, ලෝක කුසලානයට පෙර පැවැත්වුණු පුහුණු තරග දෙකට ද සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ.

එමෙන්ම පසුගිය සෙනසුරාදා (07) දකුණු අප්‍රිකාව විසින් ලකුණු 428ක වාර්තාගත ඉනිමක් දියත් කළ තරගයේ දී ද මහීෂ්ගේ සහභාගීත්වය නොමැති වීම නිසා ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණියට විශාල පාඩුවක් සිදු වුනා.

“මම හිතන්නේ ඔහු (මහීෂ්) මේ තරගයට (පාකිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට සුදුසු වේවි. ඇත්තටම පළමු තරගයට ඔහු සමඟ අවදානමක් ගන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ වගේම වෛද්‍ය කණ්ඩායමේ අවවාදවලට එරෙහිව යන්න අවශ්‍ය වුනෙත් නැහැ. ඔහු මේ තරගයට ලබා ගත හැකි වේවි කියලා මට විශ්වාසයි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා විසින් හෙට තරගයට මහීෂ් සහභාගී වීමට විශාල ඉඩක් ඇති බව එසේ තහවුරු කර තිබුණා.

නමුත් තීක්ෂණගේ නැවත පැමිණීමත් සමඟ වේගපන්දු යවන්නෙකු හෝ දුනිත් වෙල්ලාලගේට කණ්ඩායමෙන් ඉවතට යාමට සිදු වනු ඇත. මින් කුමක් සිදු වේ ද යන්න තවමත් තහවුරු කර නොමැති නමුත් අද නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්වෙන හයිද්‍රාබාද් හි Rajiv Gandhi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම හෙට ශ්‍රී ලංකාවේ තරගයත් පැවැත්වීමට නියමිත නිසා කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් හෙට දින උදෑසන පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කණ්ඩායම් සංයුතිය පිළිබඳ තීරණයක් ගනු ඇත.

“එක්වරම, වනිඳු සහ මහීෂ්ගේ අහිමි වීම නිසා දුනිත්ට විශාල වගකීම් ප්‍රමාණයක් බාර ගන්න සිදු වුනා. ඔහු ආසියානු කුසලානයේ සහ ලෝක කුසලානයේ ක්‍රීඩා කළ අවසන් තරග දෙකේ දී කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා බවට පත් වුනා. මම හිතන්නේ ඔහු ඒ වගකීමට ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වුවා. ඔහු ආසියානු කුසලානයේ තරගවල දී වගේම පිතිකරුවන්ට හිතකර දිල්ලි තණතීරුවෙත් හොඳින් ක්‍රීඩා කළා,” නවීඩ් නවාස් විසින් වැඩිදුරටත් එසේ පවසා තිබුණා.

දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී දුනිත්ගේ පන්දුවාර දහය තුළ ලකුණු 81ක් උදුරා ගනිද්දී, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක සහ මතීෂ පතිරණ විසින් සිය පන්දුවාර තුළ පිළිවෙළින් ලකුණු 90ක්, 86ක් සහ 95ක් බැගින් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණා.

කෙසේ වෙතත් හෙට තරගයේ දී ශ්‍රී ලංකාව ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ ක්‍රීඩා කරයි නම් බොහෝ දුරට ඩිල්ශාන් මදුශංකට හෝ කසුන් රාජිතට කණ්ඩායමෙන් ඉවතට යෑමට සිදු වනු ඇති බවයි අනුමාන කරන්නේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<