Home Sinhala පරාජයක් සහ වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පිවිසෙයි

පරාජයක් සහ වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පිවිසෙයි

ICC Cricket World Cup 2023

3412
Sri lanka vs South Africa 2023

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (07) පැවැත්වුණු 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සිව්වැනි තරගය ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබූ තරගයක් ලෙසින් නිමාව දුටුවේ දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 102ක ජයග්‍රහණයක් අත් කර දෙමිනුයි.

දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නා.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා පිට වාර්තා 

අප්‍රිකානුවන්ගේ ඉනිම ආරම්භය එතරම් වේගවත් එකක් නොවුනු අතර ඔවුන්ගේ නායක Temba Bavuma ද ඉක්මනින් ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඩිල්ශාන් මදුශංක විසින් සමත් වුනත්, ඔවුන්ගේ අනෙක් මුල්පෙළ පිතිකරුවන් තිදෙනා ම ඊයේ දිනයේ දී ශතක වාර්තා කිරීමට සමත් වෙමින් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 400 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වුනා. 

මෙහි දී ආරම්භක පිතිකරු Quinton de Kock විසින් පන්දු 84කින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර මෙම ශතකයත් සමඟින් වැඩිම ජාත්‍යන්තර ශතක (17) ප්‍රමාණයකට පසු සිය මංගල ලෝක කුසලාන ශතකය වාර්තා කළ පිතිකරු බවට පත් වීමට ඔහු සමත් වුනා. හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරිය මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැඳෙන්නේ ජාත්‍යන්තර ශතක 15කට පසු පළමු ලෝක කුසලාන ශතකය වාර්තා කිරීම නිසායි.

මේ අතර ඉනිමේ අංක තුන පිතිකරු Rassie Van der Dussen ද පන්දු 110කින් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වූ අතර මෙය ඔහුගේ ද මංගල ලෝක කුසලාන ශතකය ලෙසයි වාර්තා වුනේ. 

Dussen සහ Quinton විසින් ඉනිමේ දෙවන කඩුල්ලට ලකුණු 204ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙම පිතිකරුවන් දෙදෙනා ම ඉනිමේ ලකුණු තත්වය 264ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකාව සමත් වුනත්, ඉනිමේ අංක හතර පිතිකරු වූ Adien Markram විසින් තරගයේ එතෙක් පැවති තත්වය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කළා. 

Markram විසින් පන්දු 49ක් පමණක් වැය කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුනේ. අයර්ලන්ත ක්‍රීඩක Kevin O’Brien විසින් 2011 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව පන්දු 50කින් වාර්තා කළ වේගවත් ම ශතකයේ වාර්තාව අද Markram අතින් බිඳ වැටුණා. එමෙන්ම මෙම ශතකය දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ තෙවැනි වේගවත් ම ශතකය ලෙසත් සටහන් වුනා. 

එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එක් ඉනිමක පිතිකරුවන් තිදෙනෙකු විසින් ශතක රැස් කිරීමට සමත් වූ* ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙම දකුණු අප්‍රිකානු ඉනිමයි. 

*. ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ම එවන් අවස්ථා වාර්තා වී ඇත්තේ 4ක් පමණයි. ඉන් අවස්ථා තුනක් ම දකුණු අප්‍රිකානු ඉනිම් වීම විශේෂත්වයක්. 

මීට අමතරව Heinrich Klaasen සහ David Miller විසින් දකුණු අප්‍රිකානු ඉනිමට ලබා දුන් විශිෂ්ට අවසානය නිසා ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 428ක් ලබා ගැනීමට සමත් වුනා.

ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමක දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය වාර්තා අතරට එක් වුනා.

පන්දු යැවීමේ දී ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් දවා ගනිද්දී, දුනිත්, කසුන් සහ මතීෂ විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම මෙහි දී මතීෂගේ පන්දුවාර 10 තුළ ලකුණු 95ක් උදුරා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වීමත් විශේෂත්වයක්.

මෙන්ඩිස්ගෙන් හයේ වැස්සක් 

දකුණු අප්‍රිකාව විසින් ලබා දුන් ඉලක්කය ඉතා විශාල එකක් වුනත් ශ්‍රී ලංකාව එය ධනාත්මක මානසිකත්වයකින් යුතුව බාර ගන්නා බව ඉනිම ආරම්භයේ පටන් ම පෙනෙන්නට තිබුණා. 

පැතුම් නිස්සංක එකඳු ලකුණක් හෝ නොලබා පිටියෙන් ඉවත් වුනත්, ඉන්පසුව පිටියට පිවිසෙන කුසල් මෙන්ඩිස් විසින් තනිවම තරගය ඉදිරියට ඇද ගෙන යෑමට පටන් ගත්තා. 

ඉනිමේ ලකුණු සංඛ්‍යාව 54ක් වන විට මෙන්ඩිස් විසින් පන්දු 25කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, ඔහු ඉනිමේ ලකුණු තත්වය 109ක් වන විට සිය වටිනා ඉනිම ලකුණු 76කින් නතර කළා. මේ වෙනුවෙන් මෙන්ඩිස් හට වැය වුනේ පන්දු 42ක් පමණක් වන අතර, එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් අන්තර්ගත වුනා.

එක්දින ලෝක කුසලාන තරගයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් එල්ල කළ වැඩිම හයේ පහර වාර්තාව මෙහි දී මෙන්ඩිස් සතු වූ අතර, සමස්ත ශ්‍රී ලංකා වාර්තාවල දී මෙන්ඩිස්ගේ මෙම හයේ පහර සංඛ්‍යාවට පස්වැනි ස්ථානය හිමි වනවා. 

මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය මදක් පහතට ඇද වැටුණු අතර, ඉනිමේ කඩුලු 5ක් ලකුණු 150ක් වන විට බිඳ හෙළීමට දකුණු අප්‍රිකාව විසින් සමත් වුනා. 

නමුත් එතැන් පටන් නායක දසුන් ශානක සහ චරිත් අසලංක විසින් නැවත ඉනිම ගොඩ නැංවීමට පටන් ගත්තා. 

චරිත් විසින් පන්දු 65කින් ලකුණු 79ක් ලබා ගත්තේ හයේ පහර 4ක් ද සමඟයි. එමෙන්ම කලක පටන් සිය පිතිකරණ රිද්මය අහිමි වී සිටි දසුන් නැවතත් ලකුණු අතරට පිවිසෙමින් ඊයේ දිනයේ දී පන්දු 62කින් ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනේ හයේ පහර 3ක් ද සමඟිනුයි. 

මීට අමතරව කසුන් රාජිත ද ඉනිමේ අවසන් භාගයේ දී ලකුණු 33කින් ශ්‍රී ලංකා ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. 

මේ අනුව ශ්‍රී ලංකාව විසින් පන්දුවාර 44 පන්දු 5ක් තුළ ලකුණු 326ක් ලබා ගැනීමට සමත් වුනේ දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනුයි. 

මෙම ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් හයේ පහර 17ක් එල්ල කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුනේ. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී Gerald Coetzee කඩුලු තුනක් බිඳ හෙළද්දී, Marco Jansen, Kagiso Rabada සහ Keshav Maharaj අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

  • දකුණු අප්‍රිකාව – 428/5 (50) Quinton de Kock 100, Rassie Van der Dussen 108, Adien Markram 106, ඩිල්ශාන් මදුශංක 2/86 
  • ශ්‍රී ලංකාව – 326/10 (44.5) කුසල් මෙන්ඩිස් 76, චරිත් අසලංක 79, දසුන් ශානක 68, Gerald Coetzee 3/68 

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ Adien Markram හටයි. 

Result


South Africa
428/5 (50)

Sri Lanka
326/10 (44.5)

Batsmen R B 4s 6s SR
Quinton de Kock c Dhananjaya de Silva b Matheesha Pathirana 100 84 12 3 119.05
Temba Bavuma lbw b Dilshan Madushanka 8 5 2 0 160.00
Rassie van der Dussen c Sadeera Samarawickrama b Dunith Wellalage 108 110 13 2 98.18
Aiden Markram c Kasun Rajitha b Dilshan Madushanka 106 54 14 3 196.30
Heinrich Klaasen c Dasun Shanaka b Kasun Rajitha 32 20 1 3 160.00
David Miller not out 39 21 3 2 185.71
Marco Jansen not out 12 7 0 1 171.43


Extras 23 (b 0 , lb 1 , nb 1, w 21, pen 0)
Total 428/5 (50 Overs, RR: 8.56)
Bowling O M R W Econ
Kasun Rajitha 10 1 90 1 9.00
Dilshan Madushanka 10 0 86 2 8.60
Dasun Shanaka 6 0 36 0 6.00
Dhananjaya de Silva 4 0 39 0 9.75
Matheesha Pathirana 10 0 95 1 9.50
Dunith Wellalage 10 0 81 1 8.10


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Marco Jansen 0 3 0 0 0.00
Kusal Perera b Marco Jansen 7 15 1 0 46.67
Kusal Mendis c Heinrich Klaasen b Kagiso Rabada 76 42 4 8 180.95
Sadeera Samarawickrama c Marco Jansen b Gerald Coetzee 23 19 3 1 121.05
Charith Asalanka c Reeza Hendricks b Lungi Ngidi 79 65 8 4 121.54
Dhananjaya de Silva c Andile Phehlukwayo b Keshav Maharaj 11 14 1 0 78.57
Dasun Shanaka b Keshav Maharaj 68 62 6 3 109.68
Dunith Wellalage c Heinrich Klaasen b Gerald Coetzee 0 1 0 0 0.00
Kasun Rajitha c Aiden Markram b Gerald Coetzee 33 31 4 1 106.45
Matheesha Pathirana b Kagiso Rabada 5 16 1 0 31.25
Dilshan Madushanka not out 4 2 1 0 200.00


Extras 20 (b 0 , lb 5 , nb 1, w 14, pen 0)
Total 326/10 (44.5 Overs, RR: 7.27)
Bowling O M R W Econ
Lungi Ngidi 8 1 49 1 6.12
Marco Jansen 10 0 92 2 9.20
Kagiso Rabada 7.5 0 50 2 6.67
Keshav Maharaj 10 0 62 2 6.20
Gerald Coetzee 9 0 68 3 7.56



ඉහත සඳහන් කළ වාර්තාවලට අමතරව තවත් වාර්තා කිහිපයක් ම ඊයේ දිනයේ තරගයත් සමඟින් මෙසේ බිඳ වැටුණා. 

  • සමස්ත ඉනිම් දෙකේ දී ම හතරේ සහ හයේ පහර 105ක් වාර්තා වූ අතර, ලෝක කුසලාන තරගයක වාර්තා වූ ඉහළම හතරේ සහ හයේ පහර ප්‍රමාණය එයයි.  
  • ලෝක කුසලාන තරගයක දෙපිළම එක්ව ලබා ගත් ඉහළම සමස්ත ලකුණු ප්‍රමාණය – 754 
  • පිතිකරුවෙකු විසින් සිය අර්ධ ශතකය වාර්තා කරන විට කණ්ඩායමක් ලබා සිටි අඩුම ලකුණු ප්‍රමාණය – 54 (කුසල් මෙන්ඩිස් ලකුණු 50)  
  • පළමු පන්දුවාර 10 තුළ දෙවැනියට වැඩිම හයේ පහර සංඛ්‍යාව – ශ්‍රී ලංකාව (9) 
  • ලෝක කුසලානය තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව – දකුණු අප්‍රිකාව (59) 
  • ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ හොඳම පිතිකරණ සබඳතාව – 204 (Quinton de Kock සහ Rassie Van der Dussen අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන්) 
  • මංගල ලෝක කුසලාන ඉනිමක පන්දු යවන්නකු විසින් ලබා දුන් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව – මතීෂ පතිරණ (95) 
  • ලෝක කුසලාන ඉනිමක (2003 වසරෙන් පසු) පළමු පන්දුවාර දහය තුළ පිතිකරුවෙකු විසින් ලබා ගත් දෙවැනියට ඉහළම ලකුණු ප්‍රමාණය (72) සහ ආරම්භක නොවන පිතිකරුවෙකු එම පන්දුවාර සීමාවේ ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය කුසල් මෙන්ඩිස් 

මීට අමතරව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක පළමු පන්දුවාර දහය තුළ පිතිකරුවෙකු විසින් එල්ල කළ දෙවැනි වැඩිම හයේ පහර ප්‍රමාණය** (08) ඊයේ දිනයේ දී කුසල් මෙන්ඩිස් විසින් එල්ල කළා. ඔහු මෙහි දී දෙවැනි වන්නේ Chris Gayleට (09) පමණයි. 

**.මෙම වාර්තා ESPN Cricinfo සහ Cricbuzz සතු පන්දුවෙන් පන්දුව දත්ත වාර්තා කළ ක්‍රිකට් තරගවලට අදාළ ව පමණක් ඔවුන් විසින් දක්වා තිබෙනවා. 

තරගාවලියේ තවත් උණුසුම් තරගයක් අද (08) ඕස්ට්‍රේලියා සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගය සහ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<