කැන්ගරුවන් ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදය වනසති

406
T.M.Dilshan,

ටී.එම්. ඩිල්ශාන්ගේ අවසන් එක්දින තරගය අමිහිරි අත්දැකීමක් බවට පත් කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත් විය. ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙරට අතර 3වන එක්දින තරගය කඩුලු 2කින් ජය ගනිමිනුයි.

පසුගිය ලිපි: අපොන්සු පදම්වූ ක්‍රීඩකයෙක්‌ වගේ – මැතිව්ස්‌

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නව නායක ඩේවිඩ් වෝනර් හට කාසියේ නිවැරදි පැත්ත තෝරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් යලිත් වරක් පළමුවෙන් පන්දුවට පහරදෙන්නට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව මේ තරගයට එක්වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුව තිබුණි.

අවසන් වරට එක්දින තරගයකදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට ටී. එම්. ඩිල්ශාන් පිටියට පිවිසියේ කණ්ඩායම් සගයන්ගේ උණුසුම් ආචාරය මැදිනුයි. ඔහු සමගින් ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කරන ලදී.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 6 කරමින් ධනුෂ්ක පළමු පන්දුවාරයේදීම දැවී ගියේ මිචෙල් ස්ටාක් හට සුපුරුදු පරිදි ඉක්මන් කඩුල්ලක අයිතිය ලබා දෙමිනුයි. කුසල් මෙන්ඩිස් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරකින් ලකුණු 4ක් ලබාගත්තද දෙවන පන්දුවේදී ස්ලිප් කලාපයට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන ලදී.

ඩිල්ශාන් සහ දිනේෂ් චන්දිමාල් 3 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 73ක්. ඩිල්ශාන් හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස් කරන්නට සමත් විය. සම්පාගේ ෆුල් ටොස් පන්දුවකට ජෝජ් බෙයිලි අතට උඩපන්දුවක් ලබාදුන් ඔහු තම අවසන් එක්දින ඉනිම නිමා කර නැවත ක්‍රීඩාගාරය වෙත පැමිණියේ  ක්‍රීඩාංගනයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේයි.

ඩිල්ශාන්ගේ තරග 330ක එක්දින චාරිකාව අවසන් වූයේ ලොව වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර 11වැන්නා ලෙසිනුයි. ඔහු සතු එක්දින ලකුණු සංඛ්‍යාව 10290ක්.

ලකුණු 2ක් ලබා සිටි මැතිව්ස් සම්පාගේ දෙවන ගොදුර බවට පත්වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 103/4ක් ලෙස සටහන් විය. ධනංජය ද සිල්වා සහ චන්දිමාල් මන්දගාමී ලකුණු 30ක් රැස් කල අතර ධනංජය ලකුණු 12කට දැවී යන ලදී.

කුසල් පෙරේරා ලකුණු 11කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 154/6ක් ලෙස සටහන් විය. දිනේෂ් චන්දිමාල් එක් අන්තයක හුදකලා සටනක් දියත් කරද්දී තිසර පෙරේරා මෙන්ම සීක්කුගේ ප්‍රසන්නත් ඉතාමත් වගකීම් විරහිත ලෙස පිති හරඹයේ නිරතවීම කනගාටුවට කරුණක් විය.

ඔවුන් දෙදෙනාම අනවශ්‍ය මොහොතේ අනවශ්‍ය පහර එල්ල කරමින් දැවී ගියේ පන්දු වාර 9ක් පුරාවට චන්දිමාල් පසුපෙළ පිතිකරුවන් සමග තනි කරමිනුයි. කෙසේ වෙතත් දිල්රුවන් පෙරේරා ලබාදුන් සහය සමග ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ඉලක්කයක් වෙත ගෙන යන්නට චන්දිමාල් සමත් විය.

දිල්රුවන් හතරේ පහරක් සහ හයේ පහරක් සමග ලකුණු 17ක් ලබා ගන්නා ලදී. චන්දිමාල්ට තම 4වන එක්දින ශතකය වාර්තා කරන්නට අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි අමිල අපොන්සු ගේ සහයද හිමිවිය. යලිත් වරක් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ චන්දිමාල් අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 102ක් ලබා සිටියේ හතරේ පහර 7ක්ද සමගයි.

මේ අනුව පන්දුවාර 49.2ක් තුල ශ්‍රී ලංකා ඉනිම ලකුණු 226කට සීමා විය. පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3ක් දවාගත් අතර ෆෝල්ක්නර්, හේස්ටිංග්ස් සහ ස්ටාක් අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදී.

ඕස්ට්‍රේලියා පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දෙන්නට නායක ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් සමත්විය. පස්වන පන්දු වාරයේදී මේ ආරම්භක සබඳතාව බිඳ වැටුනේ ලකුණු 10ක් ලබා සිටි ඩේවිඩ් වෝනර් මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි. තම අවසන් එක්දින තරගය මෙය වුවත් තවත් කාලයක් ගතවනතුරු තමන් හා සම විය හැකි පන්දු රකින්නෙක් නොමැති බව පෙන්වමින් ඩිල්ශාන් පොයින්ට් කලාපයේ සිට රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් මෙම දැවී යාමට හේතු විය.

ෆින්ච් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 30ක් රැස් කරන ලදී. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු වරට අමිල අපෝන්සු ගේ පන්දුවක් හතරේ සීමාවෙන් එපිටට යවන්නට සමත් වූ ෆින්ච් දැවී ගියේද අමිලගේ පන්දුවක් හමුවේයි.

ෂෝන් මාෂ් මැතිව්ස්ගේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ චන්දිමාල් මිඩ් ඕෆ් කලාපයේ සිට රැකගත් අනර්ඝ උඩ පන්දුවකිනුයි. ඒ මොහොතේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 44/3ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් ජෝජ් බෙයිලි සමගින් එක්වූ ට්‍රැවිස් හෙඩ් අගනා සබඳතාවකින් තම කණ්ඩායම නැවත ජයග්‍රහණයේ මාවතට ගෙන එන්නට සමත් විය. ඔවුන් දෙදෙනා 4 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 62ක්. හෙඩ් ගේ ඉනිම ලකුණු 36කට අවසන් කරන්නට දිල්රුවන් පෙරේරා සමත් විය.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ හිසරදය එතනින් අවසන් වූයේ නැත. බෙයිලි සමගින් එක්වූ මැතිව් වේඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම අවිය වූ දඟ පන්දුව පාලනය කිරීම සඳහා කඩුල්ලේ දෙපසටම ස්වීප් පහර එල්ල කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. බෙයිලි පරීක්ෂාකාරීව තම අර්ධ ශතකය සම්පූර්ණ කරද්දී වේඩ් වේගවත් ලකුණු 42ක් රැස් කළේ පන්දු 45ක් පමණක් වැය කරමිනුයි.

5වන කඩුල්ලේ සබඳතාව ලකුණු 81ක් දක්වා වර්ධනය කල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු ජයග්‍රහණ බලාපොරොත්තු ඉහල දමද්දී යලිත් ක්‍රියාත්මක වූ දිල්රුවන් පෙරේරා වේඩ් ගේ ඉනිම අවසන් කළේ කුසල් ජනිත්ගේ ස්ටම්ප් කිරීමක සහයෙනුයි.බෙයිලි ලකුණු 70කට දවා ගන්නට සීක්කුගේ ප්‍රසන්න සමත් විය .අවසන් භාගයේ ඉක්මන් කඩුලු කිහිපයක් දවාගත්තද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය වලක්වන්නට ශ්‍රී ලංකාවට නොහැකි විය.

කඩුලු 2ක් සහ පන්දු 24ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව නියමිත ලකුණු 227ක ඉලක්කය සපුරා ගත්තේ තරගාවලියද තරග 2 – 1ක් ලෙස පෙරමුණ ගනිමිනුයි.

අවසන් පන්දුවාර කිහිපය තුල මැතිව්ස් පන්දු යවන්නන් යොදාගත් ආකාරය සහ පන්දු රකින්නන් ස්ථානගත කල ආකාරය බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් වූයේ ඉතා පසුගාමී ක්‍රීඩා විලාශයක් ලෙසිනි. පන්දු යැවීමේදී අමිල, මැතිව්ස් සහ දිල්රුවන් කඩුලු 2 බැගින් දවාගන්නා ලදී. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ජෝජ් බෙයිලි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට