SKYගේ ගිනිකෙළි නිසා මුම්බායි ඉන්දියන්ස් ලකුණු සටහනේ අංක 3ට

183
Suryakumar Yadav 83 Runs
Credit : BCCI

2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි.

ඊයේ තරගය ක්‍රියාත්මක වුනේ වැඩි මුම්බායි ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිත වන්කඩේ ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ Rohit Sharma මුලින් පන්දු යැවීමට තීරණය කළේ ඔවුන් ලකුණු 200ට වැඩි ඉලක්කයන් කිහිපයක්ම හඹා යමින් මීට පෙර දස්කම් දක්වා තිබූ නිසයි. අනෙක් අතින් ඔවුන්ගේ පන්දු යවන්නන් දස්කම් අතර නොසිටීම ද මෙම තීරණයට හේතු වන්නට ඇති.

තරගය අරඹමින් යැවූ පළමු පන්දුවාරයේ දී ම නොසිතූ වාසනාවක් ලබා ගන්නට Jason Behrendorffට හැකි වුනා. ඒ සුපිරි පිතිකරු Virat Kohli එක් ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට ඔහු සමත් වීමයි. මෙම දැවී යාම පිටියේ විනිසුරු නොදැවීමක් ලෙස සංඥා කළත් එය තෙවැනි විනිසුරුට යොමු කරමින් කඩුල්ල තහවුරු කර ගැනීමට Mumbai කණ්ඩායම සමත් වුනා.

නැවතත් ක්‍රියාත්මක වුනු Behrendorff කඩුලු රකින පිතිකරු Anuj Rawat ලකුණු 6කට දවා ගැනීමත් සමඟ Bangalore ලකුණු පුවරුව ලකුණු 16ට කඩුලු 2ක් ලෙස දිස්වුනා. සත්කාරකයින් තරගයේ සම්පූර්ණයෙන්ම පාලනය අතට ගත් මේ මොහොතේ RCB කණ්ඩායමේ පිහිටට එන්නේ Faf Du Plessis සමඟින් Glenn Maxwellයි. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 120ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගුවා.

මෙවර IPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තැඹිලි පැහැ හිස්වැස්ම දරන Plessis ඊයේ දිනයේත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 41කින් ලකුණු 65ක් ලබා ගනිමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. Plessisව පළමු පන්දුවාරයේ  දී ම ලකුණු 0කට දවා ගැනීමට ලැබුණු අවස්ථාව Nehal Wadhera විසින් බිම අත හැරීම ඔහුට වාසනාව ගෙන ආවා.

අනෙක් අන්තයේ සිටි Glenn Maxwell සුපුරුදු Switch Hit පහරවල් රැසක් ද සමඟින් පන්දු 33කින් ලකුණු 68ක අතිප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 4කින් හැඩ වුනා. කෙසේ නමුත්, 13 වැනි පන්දුවාරයේ දී Maxwell දැවී යන විට RCB කණ්ඩායමට ලකුණු 220කට වැඩි ඉලක්කයක් Mumbai වෙත ලබා දිය හැකි බව පෙනුනත්, මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා එම සැලසුම ව්‍යාර්ථ වුනා.

මෙවර කැපී පෙනෙන ඉනිම් රැසක් ක්‍රීඩා කළ Mahipal Lomror ඊයේ රැස් කළේ එක් ලකුණක් පමණයි. Scoop පහරක් වරද්දා ගැනීම නිසා Plessis ක්‍රීඩාගාරයට හැරී ගියේ Cameron Greenට කඩුල්ල හිමිකර දෙමින්. මේ අනුව RCB කඩුලු 3ක් ලකුණු 10ක් තුල දැවී යාම Mumbai කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කළා. Dinesh Karthik කලකට පසු සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 18කින් ලකුණු 30ක් ලබා ගත්තා.

පසුපෙළ පිතිකරුවන් ලෙස වනිඳු හසරංග සහ Kedar Jadhav ලකුණු 12 බැගින් රැස් කළ ද, වර්තමානයේ බොහෝ තරග අවසන් කරන්නන් පෙන්නුම් කරන අන්දමේ ඉහළ ලකුණු වේගයක් රඳවා ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ. පන්දු 8කට මුහුණ දුන් වනිඳු එහි දී තර්ඩ්-මෑන් කලාපයෙන් හතරේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුනා. මේ නිසා RCB ඉනිම අවසන් වන්නේ ලකුණු 199කටයි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jason Behrendorff ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි Mumbai Indians කණ්ඩායමේ ආරම්භක පිතිකරු Rohit Sharma ලකුණු 7කට දැවී ගිය ද, ඒ වන විට ලකුණු පුවරුව 52ක් දක්වා ඉහළ නැග තිබීම විශේෂත්වයක්. එය සුප්‍රසිද්ධ සනත්-කළුවිතාරණ මාදිලියේ සබඳතාවයක් ලෙස සැලකිය හැකි. මේ දිනවල තරමක පසුබෑමකට ලක්ව සිටින Rohit පන්දු යවන්නන්ගේ අන්තයේ සිරවී සිටිද්දී, සිත්සේ පන්දුවට පහර දුන් Ishan Kishan ඊයේ ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු 21ක් පමණක් වැයවුනු Kishanගේ වේගවත් ඉනිමට හතරේ පහර සහ හයේ පහර 4 බැගින් ඇතුළත් වුනා. Mumbai ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම 5 වැනි පන්දුවාරයේ දී දවා ගන්නේ වනිඳු හසරංගයි. එහි දී තරමක් වේගයෙන් යැවූ පන්දුවක් හමුවේ ලැබුණු තියුණු උඩපන්දුව කඩුලු රකින්නා සාර්ථකව රැක ගැනීම නිසා Kishan දැවී යද්දී, තුන්වැනි විනිසුරුගේ සහාය ද ඇතිව Rohit Sharma කඩුල්ල මුවා කළ බවට තහවුරු කර ගැනීමට වනිඳුට හැකි වුනා.

නමුත් මෙම කඩුලු 2 දැවී යාමෙන් පසුව නැවතත් සුපිරි සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Suryakumar Yadav සහ Nehal Wadhera අතරයි. අපහසු බව පෙනුණු ලකුණු 200ක ඉලක්කය අසලටම Mumbai ඉනිම ගෙනවිත් අතහරින ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ලට ලකුණු 140ක අති දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගුවා. එහි දී ලකුණු 83ක් ලබා ගැනීමට Yadav වැය කළේ පන්දු 35ක් පමණයි!

ඔහුගේ තරග දිනවන විශිෂ්ට ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා. කඩුලු 2ක් දවාගෙන සිටියත් වනිඳු හසරංගටත් ඔවුන් දෙදෙනාගෙන් ගැලවීමට හැකි වුනේ නැහැ. අවසානයේ Vijaykumar Vyshak විසින් Suryakumar සහ Tim David පිට පිටම පන්දු 2ක දී පිටියෙන් ඉවත් කළ ද, ඒ වන විට Mumbai ජයග්‍රහණයට අඩුව තිබුණේ ලකුණු 8ක් පමණයි.  තරගයේ අවසානය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටි Nehal Wadhera ලකුණු 52ක් රැස් කළා.

තවමත් 22 වැනි වියේ පසුවන ඔහු පන්දු 34කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව ක්‍රීඩා කළ මෙම ඉනිම මේ වන විට ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වී තිබෙනවා. මෙම සුපිරි ලකුණු හඹා යාම නිසා Mumbai Indians කණ්ඩායමට ඊයේ තරගය ජය ගැනීමට අවශ්‍ය වුනේ පන්දුවාර 16.3ක් පමණයි. තරගයේ වීරයා සම්මානය තරමක නිහැඬියාවකින් පසු නැවතත් ලකුණු අතරට පිවිස සිටින Suryakumar Yadavට හිමිවුනා.

Royal Challengers Bangalore – කඩුලු 6ක් දැවී ලකුණු 199 (පන්දුවාර 20): Glenn Maxwell 68, Faf Du Plessis 65, Dinesh Karthik 30, Wanindu Hasaranga Hasaranga 12*, Kedar Jadhav 12*, Jason Behrendorff 3/36, Cameron Green 1/15, Kumar Kartikeya 1/35.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 200 (පන්දුවාර 16.3): Suryakumar Yadav 83, Nehal Wadhera 52*, Ishan Kishan 42, Rohit Sharma 7, Vijaykumar Vyshak 2/37, Wanindu Hasaranga 2/53.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Chennai Super Kings සහ Delhi Capitals අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපිළක් වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සහභාගි වනු ඇති. එම තරගයේ සජීවී රූපරාමු දැක ගන්න පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<