සුවහස්, විමත් සහ උනෙත් මොරටු සටන් බිමේ පෙළහර පායි

74th Battle of the Golds

68
74th Battle of the Golds

මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර 74 වැනි වරටත් පැවැත්වෙන “මොරටු රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (08) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට ඊට පිළිතුරු ලෙසින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

අද තරගයේ දී වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් සුවහස් ප්‍රනාන්දු ද සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් විමත් දින්සර ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. ඊට අමතර ව වේල්ස් කුමාර විද්‍යාලයේ උනෙත් පීරිස් ප්‍රදර්ශනාත්මක් ඉනිමක නිරත වෙමින් දිනයේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළා.

74th Battle of the Golds, මොරටුව, 08-09 පෙබරවාරි 2024

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ක්‍රීඩාංගණය – ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව

වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: අචල පෙරේරා (නායක), රිවිත් ජයසූරිය, රුසඳු සිල්වා, සුවහස් ප්‍රනාන්දු, සචිර ඩේමියන්, ඔෂාන් ද සිල්වා, නවීන් ප්‍රමේෂ්, උනෙත් පීරිස්, පසන් කුරේ (කඩුලු රකින්නා), ප්‍රින්ස් ප්‍රනාන්දු, රසිඳු ප්‍රනාන්දු.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුජ චන්තුක, ජනක සිල්වා, උෂේන් සිල්වා, විමත් දින්සර, අදීශ් අල්මේදා, තරිඳු දිලංක (කඩුලු රකින්නා), නවෝද් ප්‍රනාන්දු, යශින් ප්‍රනාන්දු, නදීශ් ප්‍රනාන්දු, මලින්ත ද සිල්වා, කොශේන්ද්‍ර ප්‍රනාන්දු.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් නායක මනුජ චන්තුක ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත්තා.

පළමු කඩුලු ද්විත්වය ලකුණු 20ක් ව තිබිය දී දැවී යෑමෙන් අනතුරුව අගනා ඉනිමක් ක්‍රියාත්මක කළ සුවහස් ප්‍රනාන්දු පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් සචිර ඩේමියන් සමඟ එක් වෙමින් ලකුණු 72ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා. එහි දී සචිර ඩේමියන් පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවක් එක් කිරීමට ඔෂාන් ද සිල්වා සහ නවීන් ප්‍රනාන්දු සමත් වූවා. නවීන් ප්‍රනාන්දු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී ඔෂාන් ද සිල්වා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

යටි පෙළින් පිටියට පිවිසි උනෙත් පීරිස් ප්‍රදර්ශනාත්මක ඉනිමක නිරත වෙමින් පන්දු 26ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මලින්ත ද සිල්වා ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර අදීශ අල්මේදා සහ නායක මනුජ චන්තුක කඩුලු 2ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව නදීශ ප්‍රනාන්දුට ද කඩුල්ලක් හිමි වූවා.

ප්‍රතිවාදී ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

එහි දී ආරම්භක පිතිකරුවන් වූ ජනක සිල්වා සහ උෂේන් සිල්වා (8) පළමු කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් එක් කළා. ජනක සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 48ක් වැය කළ අතර හතරේ පහර 5ක් ඊට ඇතුලත් කළා.

ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක සබඳතාවක් එක් කිරීමට විමත් දින්සර සහ අදීශ් අල්මේදා සමත් වූවා.

දිනය අවසන් වීමට තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී විමත් දින්සර ද තම ඉනිම අවසන් කළා. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට අදීශ් අල්මේදා පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටි අතර පන්දුවකට පමණක් මුහුණ දී සිටි තරිඳු දිලංක කිසිදු ලකුණක් නොලබා නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී උනෙත් පීරිස්, අචල පෙරේරා සහ රුසඳු සිල්වා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (60.0)සුවහස් ප්‍රනාන්දු 52, ඔෂාන් ද සිල්වා 37, නවීන් ප්‍රනාන්දු 30, උනෙත් පීරිස් 37, අදීශ අල්මේදා 2/27, මනුජ චන්තුක 2/82, මලින්ත ද සිල්වා 3/70
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 139 (34.0)ජනක සිල්වා 30, විමත් දින්සර 51, අදීශ් අල්මේදා නොදැවී 46.

හෙට (09) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<