නවසීලන්ත නායකයා ශ්‍රී ලංකා සංචාරයට පෙර කියන කතා

Sri Lanka Tour of New Zealand 2023

325

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ සිදු කරන දීර්ඝ තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා (09) සිට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය අතිශයින්ම තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා.

ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූ‍රතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව හිමි වනවා.

නමුත් ටෙස්ට් තරග හයක් පුරාවට ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වී සිටි නවසීලන්ත කණ්ඩායම විසින් පසුගිය දා එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලද එක් ලකුණක තියුණු ජයග්‍රහණයෙන් පසුව ලද ජයග්‍රාහී තල්ලුව දිගටම පවත්වා ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව සමග තරගාවලියට ඉදිරිපත් වනු ඇති බව විශ්වාස කළ හැකියි.

Tim Southeeගේ නායකත්වයෙන් යුත් නවසීලන්තය Follow – On අවස්ථාවට මුහුණ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ලොව සිව්වැනි තරගය පසුගිය දා ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, එම තරගය නවසීලන්තය වෙතට හරවා දීමට මහඟු මෙහෙවරක් ඉටු කළ හිටපු නවසීලන්ත නායක Kane Williamson විසින් එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තම කණ්ඩායම ලබා ගත් ජයග්‍රාහී රිද්මය ඉදිරියටත් රැක ගැනීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවේ පැවසුවා.

“ලොකු කාලයක් ගත වුනා අපිට මේ සීමාව පනින්න. අපි ආසාවෙන් හිටපු ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවයි අපි හිටියේ. හොඳ දක්ෂතා පෙන්වමින් තවත් දියුණු වෙන්න බලා ගෙන ඉන්න අපිට මේක හොඳ තරගාවලියක්.”

ලබන බ්‍රහස්පතින්දා දිනයෙන් ම ආරම්භ වීමට නියමිත ව ඇති ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට නොහැකි වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාව පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි වන අතර, ඒ බලාපොරොත්තුව සාක්ශාත් කර ගැනීමට නම් ශ්‍රී ලංකාව විසින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2-0ක් ජයග්‍රහණයක් ලබා ගත යුතු වනවා.

නමුත් මෙතෙක් කල් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරග 2ක් පමණයි.

නමුත් පසුගිය වසරේ අප්‍රේල් පළමු වැනිදා පටන් සිය ධුරයේ වැඩ බාර ගත් ශ්‍රී ලංකා පුහුණුකරු Chris Silverwood යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ප්‍රගමනයක් පෙන්නුම් කරමින් සිටින අතර ඔවුන් විසින් මීට පෙර බංග්ලාදේශය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලි 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කර ගැනීමට ද සමත් වුනා.

WTC අවසන් මහා තරගයට යෑමට හැකි වුනොත් එය අදාහාගත නොහැකි දෙයක් වේවි. ඒ වගේම අපි දන්නවා අපි ඉදිරියෙන් සිටින නවසීලන්තයත් ඉතාම හොඳ කණ්ඩායමක් බව. අපි එයට ගරු කළ යුතුයි.”

මෙම තරගාවලිය සඳහා නවසීලන්තය විසින් එංගලන්තය සමඟ ක්‍රීඩා කළ සංචිතයම තව දුරටත් රඳවා තබා ගැනීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකාව විසින් කලක පටන් ජාතික සංචිතයට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටි නිශාන් මදුශ්ක වෙනුවෙන් සංචිතයේ ඉඩ විවර කළා.

එමෙන්ම මෙම තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකාවට සහභාගී වීමට තිබූ දෙ දින පුහුණු තරගයෙන් එක් දිනයක් අවාසනාවන්ත ලෙස වර්ෂාවට සේදී ගියා.

ශ්‍රී ලංකාව විසින් නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග ද්විත්වයට අමතරව තවත් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරගය තුනකට ද සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙහි දී පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග තුන ජයග්‍රහණය කිරීම ද මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සෘජු සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<