වනිත් සහ සිතුම් Zonal ජයග්‍රහණය කරා ගෙන යයි

ගාල්ල දිස්ත්‍රික් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය 2023

250

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ ගාල්ල දිස්ත්‍රික් තෙවැනි කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට අම්බලන්ගොඩ Zonal ක්‍රීඩා සමාජය පසුගිය දා සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය දා නිමා වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ එතෙක් තරගාවලියේ අපරාජිතයන් ලෙසින් සිටි Zonal ක්‍රීඩා සමාජය සහ ගාල්ල විද්‍යාලෝක ක්‍රිකට් කණ්ඩායමයි.

එහි දී විද්‍යාලෝක ක්‍රිකට් කණ්ඩායමට  එරෙහිව කඩුලු 6ක පසු ජයග්‍රහණයක් ලබා ගත් Zonal ක්‍රීඩකයෝ ශූරතාව අම්බලන්ගොඩට ගෙන ගියේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් තවදුරටත් කිරුළ රැක ගනිමින්.

Zonal ක්‍රීඩා සමාජය: වනිත් ද සිල්වා (නායක), මයුර මල්ෂාන්, ලුදීෂ නිම්සර (කඩුලු රකින්නා), සිතුම් විහඟ, ලහිරු කාවින්ද, චමෝද් චන්දූප, විහඟ මලිත්, රවිඳු ද සිල්වා, කවීෂ් හංසක, සඳලු රශ්මික, දිලින හංසක.

අතිරේක – තෙනුජ රශ්මින්.

විද්‍යාලෝක ක්‍රිකට් සමාජය: චමිත් ශිරාන් (නායක), ලක්ෂාන් සංදීප, ඩිලාන් රශින්ද, අචින්ත උශාන් (කඩුලු රකින්නා), උමේෂ් කාවින්ද, සඳුන් තීනුක, විරාජ් මධුශංක, අවිශ්ක අනුරාධ, දුලාර නිම්සර, පසිඳු සංකල්ප, තරණ මෙන්ඩිස්

අතිරේක – උමංග ඉමංජන, සසංක සදුමිණ, කාවින්ද බස්නායක, ඉමාන් ලක්ෂිත, අකිල ගයන්ත.

 Zonal ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුලය
1 සිංහ ක්‍රීඩා සමාජය Zonal කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
2 ප්‍රගති ක්‍රීඩා සමාජය Zonal කණ්ඩායමට කඩුල්ලක ජයක්.
3 UBR ක්‍රීඩා සමාජය Zonal කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
අවසන් පූර්ව තරගය
4 South West ක්‍රීඩා සමාජය Zonal කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
අවසන් මහා තරගය
5 විද්‍යාලෝක ක්‍රිකට් සමාජය Zonal කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

අවසන් මහා තරගය

තරගාවලියේ අවසන් පූර්ව තරගවල දී Zonal කණ්ඩායම South West ක්‍රීඩා සමාජය පරාජය කරමින් සහ විද්‍යාලෝක කණ්ඩායම අරුණ ක්‍රීඩා සමාජයට එරෙහි ලකුණු 17ක ජයග්‍රහණයක් ද වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පැවති අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Zonal නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා. පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 178ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් උමේෂ් කාවින්ද පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඔහු අචින්ත උෂාන් සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් එක් කළා.

අචින්ත ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක්. ඊට පන්දු 76ක් වැය ව තිබූ අතර ඒ අතර හතරේ පහර 4ක් ද ඇතුලත්ව තිබුණා.

අනතුරුව සඳරු තීක්ෂණ ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Zonal කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙක් ම කැඳවුන අතර ඒ අතරින් සාර්ථක ඵල නෙලා ගත්තේ නායක වනිත් ද සිල්වා. ඔහු ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Zonal ක්‍රීඩකයෝ එම ඉලක්කය තවත් කඩුලු 6ක් සහ පන්දු 40ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට සමත් වුනා.

එහි දී වඩාත් කැපී පෙනෙන ඉනිමක නිරත වූයේ සිතුම් විහඟ. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 99ක් ලබා ගත්තා.

ඔහු 5 වැනි කඩුල්ල වෙනුවෙන් විහඟ මලිත් සමඟ එකතු වී පන්දු 81කට මුහුණ දෙමින් නොදැවුණ ලකුණු 71ක් ලබා ගන්නවා. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී විහඟ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී නායක චමිත් ශිරාන් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • විද්‍යාලෝක ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 178 (49.3) අචින්ත උස්මාන් 33, උමේෂ් කාවින්ද 43, සඳුන් තීනුක 35, වනිත් ද සිල්වා 4/34
  • Zonal ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 181 (43.2) සිතුම් විහඟ නොදැවී 99, විහඟ මලිත් නොදැවී 26, චමිත් ශිරාන් 2/42

Zonal කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Zonal ක්‍රීඩා සමාජයේ දක්ෂතා

Zonal කණ්ඩායම වෙනුවෙන් වඩාත් ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වූයේ සිතුම් විහඟ. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 116ක් සහ කඩුලු 14ක් දවා ගන්නවා. මෙම කඩුලු ප්‍රමාණය තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර ප්‍රමුඛ ස්ථානයට ද පත් වෙනවා.

එමෙන් ම Zonal කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට වූයේ විහඟ මලිත්. ඔහු තරග 5ක ඉනිම් 4ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 125ක්. තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර ඔහුට හිමි ස්ථානය වූයේ 6 වැන්නයි.

ඔහුට අමතරව මයුර මල්ෂාන් ලකුණු 115ක් ලබා ගනිමින් Zonal පිතිකරු ලැයිස්තුව සරසනවා.

තරගාවලියේ Zonal කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස සිතුම් පළමු අසුන වෙන්කර ගනිද්දී සඳලු රශ්මික කඩුලු 6ක් ද සහ දිලින හංසක සහ වනිත් ද සිල්වා කඩුලු 5ක් බැගින් දවා ගනිමින් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථාන දිනා ගන්නවා.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවෝ

තරගාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු බවට පත් වූයේ සීනිගම ක්‍රිකට් සමාජයේ සඳරු තීක්ෂණ. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 200ක් ලබා ගන්නවා. ඊට මානවිල ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 113ක් ද ඇතුළත්.

එය මෙම තරගාවලියේ පිතිකරුවෙක් විසින් පෞද්ගලිකව වාර්තා කරන වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වූයේ විද්‍යාලෝක ක්‍රිකට් කණ්ඩායමේ උමේෂ් කාවින්දට. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 198ක් ලබා ගන්නවා. ඊට අමතර ව මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ද විද්‍යාලෝකයේ සඳුන් තීක්ෂණ සතු වුනා. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 180ක්.

මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය South West කණ්ඩායමේ රශ්මික ප්‍රභාත් සතු වෙනවා. ඔහු යුනයිටඩ් සදර්න් කණ්ඩායමට එරෙහිව පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය තරගාවලියේ මංගල ශතකය ලෙසින් ද වාර්තා පොත් සැරසුවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට නැවතත් විද්‍යාලෝක ක්‍රීඩකයෙක් පත් වෙනවා. ඔහු අචින්ත උෂාන්. තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 135ක් ලබා ගනිමින් ඔහු මෙම අසුන වෙන් කර ගන්නවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නෝ

Zonal ක්‍රීඩා සමාජයේ සිතුම් විහඟ ලබා ගත් කඩුලු 14 හේතුවෙන් පළමු අසුන වෙන් කර ගනිද්දී එහි 2 වැනි අසුන විද්‍යාලෝක ක්‍රිකට් සමාජයේ චමිත් ශිරාන් වෙන් කර ගන්නවා. ඔහු තරග 6ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්.

අනතුරුව එහි තෙවැනි ස්ථානය ද විද්‍යාලෝක ක්‍රීඩක උමේෂ් කාවින්ද සතු කර ගන්නවා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක්. ඉන් කඩුලු 6ක් ම දවා ගන්නේ අරුණ ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි වෙන්නේ බලපිටිය ප්‍රගති ක්‍රීඩා සමාජයේ ප්‍රබෝද් ආකාශ් වෙතයි. ඔහු තරග 2ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 11ක්. ඔහු තමන් සහභාගී වූ පළමු තරගය වූ UBR ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 22කට කඩුලු 6ක් ද සහ දෙවැනි තරගය වූ Zonal ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 48කට කඩුලු 5ක් දවා ගන්නවා. UBR ක්‍රීඩා සමාජයට එරෙහිව දැක්වූ දක්ෂතාව තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.

මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය කඩුලු 11ක් ලබා ගත් සීනිගම ක්‍රිකට් සමාජයේ විනෝද් ධනුෂ්ක සතු වෙනවා.

ඊට අමතරව තරගාවලියේ ත්‍රිත්ව කඩුලු ලාභියෙක් ලෙසින් කිරුළ පැලඳීමට සීනිගම ක්‍රිකට් සමාජයේ නායක ප්‍රසන්න කරුණාවංශ සමත් වීම කැපී පෙනුණා. ඔහු මානවිල ක්‍රීඩා සමාජයට එරෙහිව මෙම දක්ෂතාව දැක්වූවා.

ගාල්ල දිස්ත්‍රික් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් Zonal ක්‍රීඩා සමාජයට සහ දක්ෂතා දැක්වූ සියලුම ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<