ඒක පුංචි පහේ යුද්ධයක්!

Border - Gavaskar Trophy 2017

309

2017 Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කියන්නේ තවත් එක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ම නෙවෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා (09) ආරම්භ වුන 2023 Border – Gavaskar තරගාවලියේ පළමු තරගය සෙනසුරාදා (11) හවස් වෙද්දී (දින දෙක හමාරකින් වගේ ) අවසන් වුනා. මේ අතරම තරගාවලිය ආරම්භයට පෙර සිටම මෙවර තරගාවලියත් උණුසුම් ස්වභාවයක් ගනු ඇති බවට ඉඟි පළ වුනා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වමත් පිතිකරුවන්ව පහසුවෙන් දවා ගැනීම වෙනුවෙන් තරගයට පෙර සිටම පිටිය සකස් කරනවා යැයි වරෙක ඉන්දියාවට චෝදනා එල්ල වුන අතරම බ්‍රහස්පතින්දා ඉන්දීය දඟ පන්දු යවන Ravindra Jadeja විසින් පන්දුව යම් ද්‍රව්‍යයක් භාවිතයෙන් පළුදු කිරීමට උත්සාහ කළ බවටත් චෝදනා එල්ල වුනා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වත්මන් ක්‍රිකට් ලෝකයේ ප්‍රබලතම ප්‍රතිවාදීන් බවට කෙමෙන් පත් වෙන අතරේ ඉතිහාසය පුරාවටම මෙවැනි මතභේදකාරී සිදුවීම් වාර්තා වුනා. ඒ අතරින් 2017 Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරමක් විශේෂ එකක්.

2023 Border – Gavaskar ටෙස්ට් තරගමාලාවේ උණුසුම සමඟම අපි 2017 තරගාවලියේ සිදු වුන තරමක් උණුසුම් සහ මතභේදකාරී සිදු වීම් කිහිපයක් මතකාවර්ජනය කර ගනිමු.

  1. භාගෙට මළා නම් කමක් නැහැ !

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Matt Renshaw 2017 තරගාවලියේ ඉන්දියාවේ පූනේ හී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඕස්ට්‍රේලියාවේ පළමු ඉනිමේ දී ලකුණු 36ක් ලබා සිටිය දී හදිසියේ ම පිටියෙන් ඉවත් වෙලා යනවා.

ඒ වෙද්දී ඔහු Dawid Warner සමඟ හොඳ ආරම්භක සබඳතාවක් පවා පිහිටුව ලා තිබුණා, නමුත් Warner ලකුණු 38කට දැවී ගියායින් පස්සේ Renshaw හදිසියේ ම පිටියෙන් ඉවත් වීම බොහෝ දෙනෙක් පුදුමයට පත් කළා.

ඒ මොහොතේ ඔහුගේ නම ඉදිරියෙන් Retired Hurt කියලා සටහන් වුනත්, ඇත්තටම ඔහු පිටියෙන් ඉවත් වෙලා යන්නේ වැසිකිළි යාමේ උවමනාවෙන්.

ඒ වෙද්දී දිවා ආහාරය වෙනුවෙන් ඉතුරු වෙලා තිබුණේ තව විනාඩි පහළොවක් විතරක් වුනාට Mattට ඒ තරම් වෙලා ඉන්න බැරි වුනා කියලා ඔහු පසු කාලයක මාධ්‍ය ඉදිරියේ සඳහන් කරනවා.

ඔහු පසුව නැවතත් පිටියට ඇවිත් ලකුණු 68 වෙනකම් සිය ඉනිම රැගෙන යන්නත් සමත් වෙනවා.

මේක තරමක් හාස්‍ය දවන සිදුවීමක් වුනත්, හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙක් වගේම මේ තරගාවලියට හිමි නමේ කොටසකටත් අයිතිවාසිකම් කියන Allan Borderට නම් ඒක ඒ තරම් ම හාස්‍ය දනවන සිදුවීමක් වුනේ නැහැ.

ඔහු කියලා තිබුණේ ඒ වගේ වෙලාවක ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වෙනවා නම් තමන් නායකයෙක් විදිහට ඒ ක්‍රීඩකයා අඩුම තරමේ භාගෙට මැරිලා මේසයක් උඩ ඇල වෙලා ඉන්නවා වත් දකින්න බලාපොරොත්තු වෙනවා කියලා.

  1. 2. ඵල ඇති රුකටයි ගල් ගහන්නේ

ඕස්ට්‍රේලියානු පිතිකරු Steven Smithගේ පිතිකරණ රටාව සමහර වෙලාවට තරමක් හාස්‍ය දනවන අන්දමේ එකක්. පන්දුව පිත්ත පසු කර යෑමෙන් පස්සේ ගොඩක් වෙලාවට ඔහු ඒවට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිහේ ඉරියව් වලින්.

හැබැයි 2017 දී ඉන්දියානු ක්‍රීඩකයින්ට නම් මේ ඉරියව් Smithට අපහාස කරන්න හොඳ ආයුධයක් වුනා.

Ishant Sharma කිව්වම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුට මුලින් ම මතක් වෙන්නේ මේ පහළ පින්තූරය වෙන්න ඕන.

ඒ පින්තූරය ගන්නේ Ishant විසින් Smithව තරමක් අපහසුතාවට පත් කරවන විදිහට මුහුණේ ඉරියව් වෙනස් කිරීමක් කරන වෙලාවක. ඒ වෙලාවේ Smithට පිටුපසින් පන්දු රකිමින් හිටපු Virat Kohliටත් මේකට සෑහෙන්න හිනා ගියා!

Ishant විතරක් නෙවෙයි, Ravindra Jadejaත් මේ පහළ පින්තූරයේ වගේ ටිකක් වෙනස් විදිහේ ඉරියව්වකින් ඉන්නේ Smithව ඉලක්ක කර ගෙන තමයි.

මේවා ක්‍රිකට් ඇතුළේ අපිට නිතර ඇහෙන Sledding වලටත් එහා ගිය දේවල්. ක්‍රිකට්වල විතරක් නෙවෙයි ඕනම ක්‍රීඩාවක් ඇතුළේ මේ තරමට දුර නොයනවා නම් හොඳයි හැබැයි!

මේ විදිහට ඉන්දියාව අතින් Smithවම ඉලක්ක වෙන්න හේතුවක් නොතිබුණාමත් නෙවෙයි, ඉන්දියාවට ඕස්ට්‍රේලියාව ඇවිත් ක්‍රීඩා කරපු මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනේ Smith විසින්. ඔහු තරග හතරේ දී ලකුණු 499ක් රැස් කර ගන්න සමත් වෙනවා.

  1. මිතුරා වෙනුවෙන් එකට එක

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දියානු ආරම්භක පිතිකරු Abhinav Mukundට එරෙහිව පන්දු යවමින් සිටි ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc විසින් බවුන්සර් පන්දුවක් යොමු කිරීමෙන් පසුව තමන්ගේ ඔළුව ආරක්ෂා කර ගන්න කියලා Mukundට ඉඟියකින් පවසනවා.

Starc ඒ වෙලාවේ කරන්නේ Mukundට පෙන්න තමන්ගේ නළලත දිශාවට ඇඟිල්ල කිහිප වරක් දික් කර ගන්න එක.

හැබැයි ඊට පස්සේ දවසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිතිකරණයේ යෙදෙද්දී Ravichandran Ashwinගේ පන්දුවකින් Starc දැවී යනවා. ඒ වෙලාවේ Ashwin ඉවක් බවක් නැතුව තමන්ගේ නළල දිහාවට ඇඟිල්ල දික් කර ගන්නේ Starcට කළ කම් පල දෙන බව මතක් කරන්න වගේ.

  1. පිටියෙන් ලැබෙන සහය මදි නිසා ක්‍රීඩාගාරය දිහා හොරෙන් බලපු Smith

මම හිතන්නේ 2017 Border – Gavaskar තරගාවලියේ වඩාත් ම කතාබහට ලක් වෙන චරිතය වුනේ Steven Smith වෙන්න ඕන. ඒ හැම කතාවක් අතරින් ම වැඩිම අවධානයක් ලැබුණ සිදුවීම තමයි මේ.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 188ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වරක කඩුලු 3කට ලකුණු 74ක් ලබා ගෙන හිටියා. ඒත් ඒ මොහොතේ Umesh Yadavගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙලා Steven Smithට දැවී යන්න සිද්ධ වෙනවා. විනිසුරුගේ දැවී යාමේ තීරණය අභියෝගයට ලක් කරන්න Smithට ලැබෙන කාලය ඇතුළේ Smith තමන්ගේ පිතිකරණ සගයාගෙන් විතරක් නෙවෙයි, ක්‍රීඩාගාරයේ හිටපු අයගෙනුත් උදව් බලාපොරොත්තු වුනා.

මේක ඉන්දීය ක්‍රීඩකයින් (විශේෂයෙන්ම Kohli) දැකපු ගමන් ඒ දේට විරුද්ධ වුනා සහ ඒ ගැන විනිසුරුට පැමිණිලි කළා. අවසානයේ Smithට සිද්ධ වුනේ තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට නොගෙනම පිටියෙන් ඉවත් වෙලා යන්න.

Smithගේ කඩුල්ල තරගයට මොන තරම් ලොකු බලපෑමක් කරා ද කියලා කියනවා නම් ලකුණු 74/3ක් විදිහට තිබුණ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 112කට සීමා වෙලා ඉන්දියාවට ලකුණු 75ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

ඒ තරගය ජය ගැනීම නිසා තරගාවලිය 1-1ක් විදිහට සම කර ගන්නත් ඉන්දියාව සමත් වෙනවා.

අතිශයෝක්තියකින් නොකිව්වත් සමහර විට එදා ඒ මොහොතේ Smithව දවා ගැනීම සමස්ත තරගාවලියේ ම වඩාත් ම වැදගත් මොහොත කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම තරගයෙන් පස්සෙත් සෑහෙන්න තරමේ කතාබහකට ලක් වුනා.

Smith නම් මේ ගැන පසුව කියලා තිබුණේ වැරදීමකින් වුන දෙයක් (Brain Fade) කියලා. නමුත් ඊට පිළිතුරු විදිහට ඉන්දීය නායකයා Kohli කියලා තිබුණේ දවස් තුනක් විතර තිස්සේ වුන දෙයක් වැරදීමක් වෙන විදියක් නැහැ කියලයි.

මොකද Smith ඒ තරගාවලියේ දී ඒ විදිහේ දෙයක් කරපු පළවෙනි අවස්ථාව ඒක නෙවෙයි.

  1. ආබාධයක් ගිය දුරක්

මේ තරගාවලියේ තුන්වැනි තරගය පැවැත්වුණේ ඉන්දියාවේ රන්චි වලදී. ඒ තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී Virat Kohli හතරේ සීමාව අසල පන්දු රකිමින් ඉන්න අතරේ පන්දුවක් නතර කරන්න ගිහින් ඔහුගේ උරහිස බිම වදිනවා සහ ඔහු ඒ වේදනාව එක්ක උරහිස පැත්තකට බර කරන ගමන් වේදනාවෙන් ඉන්න බවත් පෙන්වනවා.

ඒත් තරගයේ උණුසුම වැඩි වෙන්න වෙන්න ඕස්ට්‍රේලියාවට මේක තවත් එක විහිළුවට කාරණයක් විතරක් වෙනවා. Kohli පන්දු රැකපු තැනම පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියාවේ Glenn Maxwell විසින් වරෙක පන්දුවක් නතර කරලා Kohli කළා වගේම තමන්ගේ උරහිස අතගාන ගමන් කලින් සිදුවීම සමච්චලයට ගන්නවා. (එවකට ඕස්ට්‍රේලියානු නායකයා වුන Steven Smith විසිනුත් ඒ විදිහට ම Kohliව අනුකරණය කරමින් සමච්චල් කරනවා.)

හැබැයි සිදුවීම එතැනින් නතර වෙන්නේ නැහැ, ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ආරම්භක කඩුල්ල විදිහට David Warner දැවී යද්දී Virat Kohli තමන්ගේ පරණ ආරවුල ආයෙත් සිහියට අර ගෙන Maxwell කරාටත් වඩා අනිත් පැත්තට සමච්චල් කරනවා.

සමහර තැන්වල දී මේ සිදුවීම් වල අතුරු ප්‍රතිඵල ක්‍රීඩා පිටියෙන් පිටතටත් ගියා.

වතාවක් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් Kohliව හිටපු ඇමරිකානු ජනාධිපති කෙනෙක් වන Donald Trumpට සමාන කරනවා. එහෙම කරන්නේ Kohliට ගෞරවයක් විදිහට නම් නෙවෙයි!

මේ අතරේ පෙර සිදුවීමෙන් ඇති වුන  ආබාධය නිසා Kohliට තරගාවලියේ සිව්වැනි තරගය මග හැරෙනවා.

ඒ ගැන හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වුන Brad Hodge කිව්වේ IPL තරගාවලිය නිසා ටෙස්ට් තරගයක් මග හරින එක වැරදි වැඩක් කියලා.

ආබාධයක් බව කියමින් හතරවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වුන Kohli, IPL තරගාවලියේ RCB කණ්ඩායම නියෝජනය කරමින් පළවෙනි තරගයට ක්‍රීඩා කිරීම “කැත” වැඩක් බවයි ඔහුගේ අදහස වුනේ.

කෙසේ වෙතත් තරගාවලියේ සිව්වැනි තරගය Kohli ක්‍රීඩා නොකළත් කණ්ඩායම සමඟම සිටිනවා අපිට දකින්න ලැබුණා, ඒ විතරක් නෙවෙයි ඒ තරගයේ ඕස්ට්‍රේලියාව ගන්න DRS (විනිසුරු තීරණ නැවත සලකා බැලීම) අවස්ථා අසාර්ථක වෙද්දී වැඩියෙන්ම ඒ පිළිබඳ සතුටු වුනේ ක්‍රීඩාගාරයේ හිටපු Kohli බව හැමෝම දැක්කා.

අවසානයේ කෙසේ හෝ තරගාවලිය 2-1ක් විදිහට ඉන්දියාව ජයග්‍රහණය කළේ සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

අවසාන තරගය වෙන තෙක්ම උණුසුම් ව ඇදී ගියපු මේ තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාව මොන තරම් උද්වේගකර එකක් ද කියලා මුළු ලෝකයට ම සජීවී ව පෙන්වපු ආසන්නතම මතක වලින් එකක් බව අද අපිට කියන්න පුළුවන්.

ඉන්දු – ඕස්ට්‍රේලියා ගැටුම් කියන්නේ අනිවාර්යයෙන් ම උණුසුම් මුහුණුවරක් ගන්න තරගාවලියක්.

ලිපිය ආරම්භයේ ම සඳහන් කළා වගේ මේ වතාවෙත් පළවෙනි තරගය දින දෙක හමාරකින් අවසන් වුනත් ඉතිරි තරග තුන ඇතුළේ තව බොහෝ මතභේදකාරී දේවල් සිදු වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

2023 Border – Gavaskar තරගාවලියේ සියලු උණුසුම් සිදු වීම් ඔබ වෙත සමීප කරන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN The Cricket Monthly ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<