Sarfaraz Khanගේ කඳුළු අස්සේ සැඟවුණ අතීත කතාව

1367

Sarfaraz Khan කියන්නේ මේ දිනවල ඉන්දියාවෙන් වැඩියෙන්ම ඇහෙන නමක්. දක්ෂතා දැක්වුවත් ඉන්දීය ජාතික සංචිතයට එකතු වෙන්න අවස්ථාව අහිමි වීමේ දුක Sarfaraz විසින් නැති කර ගන්නේ කඳුළුවල සහ තාත්තාගේ පිහිට නිසා.

Sarfaraz ගැන ඉන්දියාවෙන් අපිට දවසින් දවස අලුත් පුවත් ඇහෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් බහුල රටක්, ඔවුන්ගේ ලීග් සහ පළමු පෙළ තරග සැලසුම් එක්ක විශිෂ්ට මට්ටමේ පිතිකරුවන් රාශියක් ඔවුන් තමන්ගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් පෙළ ගස්වා ගෙන ඉන්නවා.

එහෙම නම් රැසක් අස්සෙන් ජාතික කණ්ඩායමට එකතු වෙන්න වරම් නො ලබපු මේ පිතිකරුවා ගැන වැඩි වශයෙන් මාධ්‍ය කතා කරන්න මොනම හරි විශේෂ හේතුවක් තියෙන්න අවශ්‍යයි නේ.

Sarfaraz Khan කියන්නේ තවමත් වයස අවුරුදු 25ක කොල්ලෙක්. ඒත් ඔහු මුලින් ම වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ජාතික කණ්ඩායමට තේරී පත් වෙන්නෙ මීට අවුරුදු 9කට පෙර. ඒ කියන්නේ 2014 දී, ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලත් නැහැ.

ඔහු එදා 19න් පහළ සංචිතයේ දී එකට මුණ ගැහෙන්නේ අද ඉන්දියාවේ අනාගත තරු විදිහට හඳුන්වලා දෙන Shreyas Iyer, Sanju Samson, Kuldeep Yadav වගේ ක්‍රීඩකයින්ව.

“අනේ සර් Sarfarazව හොඳට බලා ගන්න, එයා දඟ කොල්ලෙක්.”

Sarfarazගේ පියා Naushad Khan 2014 දී 19න් පහළ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වුන Bharat Arun මුණ ගැහෙන්න ඇවිත් කියනවා.

“එයා ඕස්ට්‍රේලියානු හෝ පාකිස්තාන ක්‍රීඩකයින් දිහා බලලා විහිළුවක් දෙකක් කරන්න බය නැති කොල්ලෙක්. ඒ තමයි එයාගේ ආකල්පය. ඒක නැති වුන දවසට එයාගේ දක්ෂතාවත් වියැකිලා යාවී.”

Bharat Arun එදා ඔහුගේ පියාගේ ඉල්ලීමට පිළිතුරු දෙන ගමන් කියන්නේ Sarfarazගේ දඟකාරකම තමන්ගේ කණ්ඩායමට හයියක් කියලයි.

අවුරුදු 9කට පස්සෙත් Sarfaraz තවමත් එදා ආකල්ප ඇතුවම ක්‍රීඩා කරනවා. එදා තමන්ගේ දරුවා ගැන වද වුන Naushad අදටත් ඔහු වෙනුවෙන් හයියට ඉන්නවා.

ඉන්දියාවේ බ්‍රැඩ්මන්!

2019 සිට මේ වන තෙක් ඔහු මුම්බායි නියෝජනය කරමින් රංජි කුසලානය වෙනුවෙන් ඉනිම් 22ක දී ලකුණු 2289ක් රැස්කර ගන්න Sarfaraz සමත් වෙලා තියෙනවා. ඒ ඉනිම් 22 වෙනුවෙන් ඔහුගේ සාමාන්‍ය විදිහට දැක්වෙන්නේ 134.64ක්. මේ වෙනුවෙන් ඔහු ශතක නවයක්, අර්ධ ශතක පහක්, ද්විත්ව ශතක දෙකක් සහ එක් ත්‍රිත්ව ශතකයක් අන්තර්ගත කර ගන්නත් සමත් වෙලා තියෙනවා.

Sarfarazගේ මිතුරන් ඔහුට “ඉන්දියාවේ බ්‍රැඩ්මන්” කියලා කියන එක මේ වාර්තා දිහා බැලුවා ම සාධාරණයි කියලත් වෙලාවකට හිතෙනවා.

මේ වෙද්දී සමස්ත පළමු පෙළ තරග 35ක් ක්‍රීඩා කරලා තියෙන Sarfarazගේ පිතිකරණ සාමාන්‍ය 79.65ක අගයක් සටහන් කරනවා. ඔබ ඔහුගේ ආසන්න ඉනිම් කිහිපය විමසලා බැලුවොත් ඔබට තේරේවි ඇයි විදෙස් මාධ්‍ය (විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍ය) ඔහු ගැන කතා කරන්නේ, ඒ වගේම Sarfaraz Khan පවා තමන් ව ඉන්දීය සංචිතයට තෝරා නො ගැනීම පිළිබඳ දුක් වෙන්නේ කියලා.

“ඔහු ළඟදීම ඉන්දියාවට ක්‍රීඩා කරාවි’ මම යන හැම තැනක දී ම මට ඇහෙනවා අනිත් අය කොඳුරන ශබ්දය. සමාජ මාධ්‍යවලින් මට දහස් ගණන් කෙටි පණිවිඩ එනවා. හැමෝම කියනවා ඔබේ කාලය එළඹේවි කියලා.”

නිමා වුන බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයට පෙර ඔහු ඉන්දීය සංචිතයට එකතු වෙනවා කියලා ඔහුට ආරංචියක් ලැබෙනවා.

“බැන්ගලෝර් වල තිබුණ රංජි කුසලාන අවසන් මහා තරගයේ දී මම ශතකයක් රැස් කළා. පසුව මට අපේ තේරීම් කමිටු නිළදාරීන් හමු වුනා. ‘ඔබට බංග්ලාදේශය සමඟ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබේ වී, ඒ සඳහා සූදානම් වෙලා ඉන්න’ කියලා මට ඔවුන් කිව්වා.  (නමුත් Sarfarazට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ.)

මෑතක දී මට Chetan Sharma (තේරිම් කමිටු ප්‍රධානී) මුණ ගැසුණා. ඔහු මට කිව්වා අධෛර්යයට පත් වෙන්න එපා කියලා. ඔහු කිව්වා මගේ කාලය එළඹේ වී, හොඳ දේවල් වෙන්න කාලය ගත වෙනවා. ඔබ ඉතාමත් ආසන්නයි. ඔබට අවස්ථාවක් හිමි වේවි.

ඉතින් මම හොඳ ඉනිමක් ක්‍රීඩා කළාම මට බලාපොරොත්තු ඉතුරු වෙනවා. ඒත් ඒක අවුලක් නැහැ.”

Sarfaraz මේ කාලය පුරාවට ම තමන්ගේ පිතිකරණය දියුණු කර ගත්තු තරමට තව කුසලතාවක් දියුණු කර ගත්තා නම් ඒ ඔහුගේ ඉවසීම.

ඒ වගේම ඔහු මේ කාලය පුරාවට ම නො ලැබෙන දේ දිහා උපේක්ෂාවෙන් බලලා හිත හදා ගන්න පුරුදු වෙනවා.

Sarfarazව දවා ගත්තොත් රුපියල් 50ක් දෙනවා!

Sarfaraz අද ඉන්න තැනට එන්න ප්‍රධානතම හේතුව ඔහුගේ පියා Naushad කිව්වොත් හරි.

Naushad විසින් Sarfaraz වගේම ඔහුගේ බාල සොහොයුරා Musheer Khanගෙත් මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුනා. තාත්තා නොවෙන්න තමන්ට කවමදාවත් මේ තත්වයට එන්න පුළුවන් වෙයි කියලා Sarfaraz විශ්වාස කරන්නේ නැහැ.

“මම මේක කියන්නේ ඒ මගේ තාත්තා නිසා නෙවෙයි, නමුත් ඒ වගේ පුද්ගලයෙක් මේ ලෝකේ හොයා ගන්න හරිම අමාරුයි. ඔහුගේ දණ හිසේ යම් ආබාධයක් තිබුණා. මීට වසර අටකට පෙර වෛද්‍යවරයෙක් කිව්වා ඒ ආබාධය සුව කර ගන්න කකුලට සැත්කමක් කරන්න අවශ්‍යයි කියලා. නමුත් ඔහු ඒක කළේ නැහැ, මොකද ඔහු හිතුවේ ඒ සැත්කමේ යම් වැරදීමක් වෙලා ඔහුට රෝද පුටුවකට වැටෙන්න වුනොත් කොහොමද අපිට පුහුණුකරන්නේ කියලා.”

ඔහු තමන්ගේ අතීත කතාව සංවේදීව මතක් කරනවා.

ඉස්සර Naushad Khan එහෙම නැත්නම් Sarfarazගේ පියා විසින් පුහුණු සැසිවල දී Sarfarazට පන්දු යවලා ඔහුව දවා ගන්න සමත් වෙන පන්දු යවන්නන්ට රුපියල් 50ක් දෙන්න පොරොන්දු වෙනවලු.

ඔහු ඒ මුදල වියදම් කරන්නේ පන්දු යවන්නන් තමන්ගේ දරුවා ව දවා ගන්න උපරිම උත්සාහය දරනවා දකින්න අවශ්‍ය නිසා.

සමහර දවස්වලට Naushadගේ මුදල් පසුම්බියෙන් රුපියල් තුන් හාරසියයක් ම ගැලවිලා යනවලු Sarfarazගේ දැවී යාම් නිසා. ඉන්දියාවේ සාමාන්‍ය පැලැන්තියේ පවුලකට ඒ මුදල දැනෙන තරමේ එකක්. ඉතින් Sarfaraz නිතරම උත්සාහ කරලා තියෙන්නේ තමන්ගේ තාත්තාගේ මුදල් පසුම්බියේ මුදල් නොසෙල්වෙන විදිහට නො දැවී ඉන්නයි.

හැමදේම නැති වෙන තැන දීත් තාත්තා ඉන්නවා

ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියන්නේ Sarfarazගේ වගේම, ඔහුගේ තාත්තාගෙත් ලොකුම හීනයක්. පුතාගේ හීනය ඉටු වෙන්න ආසන්නතම මොහොතේ දීත් ඒ අවස්ථාව ගිලිහී යද්දී තාත්තා මොන තරම් දුක් වෙන්න ඇත් ද?

ඒත් ඒ තාත්තා තමන්ගේ ඇස්වල කඳුළු හංග ගෙන පුතාගේ ඇස්වල කඳුළු පිස දානවා.

“මම සම්පූර්ණයෙන්ම වැටුණා, ඒක ඕනෑම කෙනෙකුට සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔබ ලොකු ලකුණු ප්‍රමාණයක් රැස් කරපු කෙනෙක් නම්. මම මනුස්සයෙක්, යන්ත්‍රයක් නෙවෙයි. මටත් හැඟීම් දැනීම් තියෙනවා.”

කණ්ඩායම නම් කරපු වෙලාවේ මගේ නම එහි නැහැ කියලා දැන ගත්තාම මම මුළු දවසම කනගාටුවෙන් හිටියා. ඊට පස්සේ Guwahati සිට Delhi දක්වා එන ගමනේ දී මට ලොකු තනිකමක් දැනුණා. මම ඇඬුවත් එක්ක.

මම මගේ තාත්තට කතා කළා. ඔහු Delhi වලට ආවා. මම ඔහු එක්ක පුහුණු සැසියකට සහභාගී වුනා. මගේ තාත්තා කිව්වා අපේ වගකීම තමයි ලකුණු රැස් කිරීම, ඒ වගේම ඔහුට දැනෙනවා කිව්වා මම දවසක ඉන්දියාව නියෝජනය කරාවි කියලා.

මම දිවා රෑ දෙකේ ම පුහුණු වෙනවා, මට කරන්න පුළුවන් හැම දෙයක් ම කරනවා.

මම වැඩෙද්දී මට අවශ්‍ය වුනේ මුම්බායි රංජි කණ්ඩායමේ තැනක් හොයා ගන්න. දැන් මට අවශ්‍ය ඉන්දීය කණ්ඩායමේ තැනක් හොයා ගන්න. ඒ නිසා මම දියුණුවක් ලබලා තියෙනවා.”

නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට්  තරගාවලිය වෙනුවෙන් හෝ තමන්ට අවස්ථාවක් උදා වන තෙක් බලා හිඳි Sarfarazට අවසානයේ සිදු වුනේ තමන්ගේ මිතුරා Suryakumar Yadav ඉන්දීය ටෙස්ට් සංචිතයට එකතු වෙනවා බලා හිඳින්නටයි.

එම අවස්ථාව Sarfarazට මෙන්ම ඔහු වටා රොද බැඳ ගත් රසික ප්‍රජාව ද තරමක් කනස්සල්ලට පත් කළ එකක් වුනා. ඉහත සඳහන් කලේ Sarfaraz විසින් තමන්ව නැවතත් ඉන්දීය තේරීම් කමිටු නිලධාරීන් ගේ පෙනේරයෙන් හැලී යාමෙන් පසුව මුහුණ අත් දැකීම පිළිබඳවයි.

ඔබට අවශ්‍ය සිහින් සිරුරු සහිත ක්‍රීඩකයින් ව නම් යන්න විලාසිතා ප්‍රදර්ශනයක් බලන්න

Sarfarazව ඉන්දීය සංචිතයට තෝරා නොගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සඳහන් කරන හේතුව වන්නේ ඔහුගේ ශරීර ප්‍රමාණයයි. ඒ වෙනුවෙන් හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨ පිතිකරුවෙකු වන Sunil Gavaskar, Sarfarazගේ සහයට පැමිණියා.

“ඔබ හොයන්නේ සිහින් සිරුරු සහිත කොල්ලන්ව ද, එහෙනම් විලාසිතා ප්‍රදර්ශනයකට ගියා නම් හරි. ගිහින් නිරූපණ ශිල්පීන් ටිකක් තෝර ගෙන ඔවුන්ගේ අතට පන්දු සහ පිති ලබා දීලා ඔවුන් ව දියුණු කරන්න. ඒක නෙවෙයි ක්‍රිකට් යන විදිහ. විවිධ ශරීර හැඩ සහ ප්‍රමාණ සහිත ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නවා. ශරීර ප්‍රමාණය පස්සේ එලවන්න එපා. ලකුණු හෝ කඩුලු පස්සේ යන්න. ඔහු ශතකයක් රැස් කළා කියලා පන්දු රකින වෙලාවට පිටියෙන් ඉවත් වෙලා ඉන්නේ නැහැ. ඔහු නැවත පිටියට එනවා. ඒ නිසා ඒකෙන් පේනවා මේ කෙනා සූදානම් කියලා.”

එමෙන්ම ඉන්දීය කණ්ඩායම තුල ශරීර ප්‍රමාණය පිළිබඳ යම් හේතු සාධක නිසා නිදහසක් ලැබී ඇති ක්‍රීඩකයින් ද නැතුවාම නෙවේ. (Rohit Sharma, Rishabh Pant, Prithvi Shaw වැනි අය). ඒ වගේම ඔවුන් ඒ ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෙන්වන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ නිසා ශරීර ප්‍රමාණය කියන කාරණය Sarfarazගේ ගැට‍ළුවේ දී හේතුවක් කර ගැනීම තරමක් අසාධාරණ ක්‍රියාවක්. ඒ වගේම කණ්ඩායම් පුහුණුකරුවෙක් සිටිය දී Sarfaraz සිය පියා සමඟ පුහුණුවීම් වල යෙදීමත් සමහර තැන්වල දී යම් විවේචනයකට බඳුන් වී තිබෙන බව සඳහන් කළ යුතුයි.

Sarfaraz ඉන්දීය ජාතික කණ්ඩායමට දැන් කිහිප වරක් ම ඉතා වැරෙන් තට්ටු දමමින් සිටින අතර, සමහර විට මීළඟ තට්ටුවේ දී ඔහුට දොර විවර වීමේ ඉඩ කඩක් නැති වාම නෙවෙයි.

ඒ නිසාම ඉන්දියාවේ වඩාත් ප්‍රචලිත උදාන වාක්‍යයක් සහ ගීතයක කොටසක් වන Apna time ayega (මගේ වෙලාව පැමිණේ වී) වැකිය Sarfaraz විසින් ද නිතරම මුමුනන එකක් වන බව විශ්වාස කළ හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<