දඟ කරන කොළඹ පොඩි මෑන් “විරංග යේෂාන්”

934

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කැපී පෙණෙන දක්ෂතා දක්වන්නන්ගේ ගොන්නේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගැනීමට කොළඹ කේරි විද්‍යාලය නියෝජනය කරන විරංග යේෂාන් සමත් වෙනවා. දකුණතින් පිට දඟපන්දු යවන විරංග මෙවර තරගාවලියේ දී ලබාගත් කඩුලු සංඛ්‍යාව 40ක්. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

ක්‍රිකට්වලට මොකද වෙලා තියෙන්නේ? මහේලගේ කෝණයෙන්

මහේල ජයවර්ධන යන නම ඇසූ සැණින් කවුරුන්ද යන්න අටුවාටීකා ටිප්පණි අවැසි නැත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළ තැනකට ඔසවා තැබීමට දුන් දායකත්වය වෙනුවෙන් මහේලට …


විරංග ක්‍රිකට් පිටියේ පළමුවෙන් කරක් ගසන්නේ පිතිකරුවෙක් ලෙසින්. ඒ කොළඹ එන්. සී. සී. ක්‍රිකට් ඇකඩමියෙන් ක්‍රිකට් හදාරන්න ආ ආරම්භයේ දී. ඒ වෙද්දී විරංගට අවුරුදු 10ක් විතර ඇති කියලයි කියන්නේ. ඔහු හා හා පුරා කියල ක්‍රිකට් හදාරන්නෙ ලයනල් මෙන්ඩිස් මහතා යටතේ.

“පුතා බැට් එක අල්ලන විදිහ දැකපු හැටියෙම ලයනල් සර් කිව්වෙ මට හොඳ ගෝලයෙක් ලැබුණා කියලයි. කලින් සෙල්ලම් කළේ කොහේද කියලත් ඇහුවා. මුලින්ම ආවෙ එන්. සී. සී. කියල කිවුවහම කිව්වෙ පුතා දැනටමත් බේසික් එක දන්නවා. හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.” විරංගගේ පියා තරංග ප්‍රසාද් අතීතය සිහිපත් කළා.

 

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය ගුරු පියෙක් ලෙසින් කාගේත් බුහුමනට ලක්  වූ ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ඒ ලැබූ සහතිකය වෙන අන්දේකට වඩා විරංගට වටින්නේය. ඔහු යටතේ ක්‍රිකට් ක්‍රීඩාව හදාරමින් සිටි ආරම්භක අවදියේම ලයනල් මෙන්ඩිස් මහතාගේ ඉල්ලීම වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යන පාසලකට පුංචි විරංග යොමු කරන ලෙසයි. ඒ වෙද්දි විරංග ගියේ ජාත්‍යන්තර පාසලකට. ඒත් එහි ක්‍රිකට් ක්‍රීඩාව තිබුණෙ නැහැ. ලයනල් මෙන්ඩිස් මහතාගේ ඔවදන අනුව යමින් විරංගගේ පාසල වෙනස් වෙනවා. එතැන් සිට විරංගගේ නවාතැන වෙන්නේ කොළඹ 08, කේරි විද්‍යාලය.

විරංග කේරි විද්‍යාලයට එද්දී එන්. සී. සී. ක්‍රිකට් ඇකඩමියේ දී දිලිප් සෝමරත්න, ශානුක ජීවන්ත, චරිත් ලියනගේ සහ කැලිස්ට අන්තෝනිස් යන මහත්වරුන් යටතේ ක්‍රිකට් පුහුණුව ලබනවා. අදටත් විරංග එන්. සී. සී. ක්‍රිකට් ඇකඩමියේ සාමාජිකයෙක්.

“පුතාටත් වඩා මගේ තිබුණ ආසාවටයි මම පුතාව එන්. සී. සී. එකට එක්ක ගෙනාවෙ. අනෙක් එක මම ක්‍රිකට් ක්‍රීඩාවට පුදුම විදිහට ආසා කළා. පුතෙක් ලැබුණොත් කවද හරි දවසක ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරනව කියන හැඟීමෙන් හිටියේ. පුතා ලැබෙන්න ඉන්න කාලෙ අපි ශ්‍රී ලංකා ටීම් එක මෙහේ සෙල්ලම් කළ ගොඩාක් මැච් බලන්න ගියා. එහෙම නැත්නම් දවසම ටී. වී. එක ඉස්සරහ තමයි. ඒ දවස්වල වැඩියෙන් ම කතා වුණෙත් ක්‍රිකට් ගැන. මම හිතනවා පුතාට ඒ ආභාෂය ලැබෙන්නත් ඇති. ”විරංගගේ පියා නැවත පැවැසුවා.

පුහුණුකරු චානක පෙරේරා සමඟ

විරංගගේ පියා තරංග ප්‍රසාද් සේ ම මව වන ඉන්දිකා සජීවනී ද දැඩි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්. ඉන්දිකාට නම් ක්‍රිකට් උණ එන්නේ තරංග සමඟ වූ විවාහයත් සමඟ කියලයි කියන්නේ. විරංගට නංගියෙකුත් ඉන්නවා. ඇය බුවිෂා යේෂානි. ඇයත් නිතර ක්‍රිකට් පිටිවල දැකිය හැකියි. ඒ අයිය ක්‍රීඩා කරන සෑම තරගයක්ම නරඹන්න ඇයත් එන නිසා.

“පුතා උපන්නෙ 2003.11.11 වැනිදා රෑ 11.00ට. මේ දිනයේ සහ වෙලාවේ සුවිශේෂී බවත් පුතාගෙ දක්ෂතාවලට හේතු වෙන්න ඇති කියන විශ්වාසයත් තියෙනවා.“ විරංගගේ පියා පවසනවා.

ඒ දේවල් කොහොම වුනත් විරංග දක්ෂයෙක්. මෙවර වයස අවුරුදු 15න් පහළ කේරි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කරන්නේත් විරංග. ඔහු තමන්ගේ දක්ෂතාත් සමඟින් කණ්ඩායම දෙවැනි වටය දක්වා රැගෙන ඒමට සමත් වෙනවා. නිමා වූ තරගාවලියේ තරග 10කට ක්‍රීඩා කරමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 40ක්. එය එම වයස් කාණ්ඩයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළ රැඳී සිටීමට ඉවහල් වූ දක්ෂතාවක්. පිතිකරුවෙක් ලෙසින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 180කට ආසන්නයි. විරංගගේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට එරෙහිව ලකුණු 37කට ලබා ගත් කඩුලු 6යි. එම තරගයේ දී ඔහු ලකුණු 43කට කඩුලු 9ක් ලබා ගන්නවා. එමෙන්ම ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 5 අවස්ථා 4ක් වාර්තා කරනවා.

නැසීගිය ලයනල් මෙන්ඩිස් මහතා සමඟ

“පිතිකරුවෙක්ටත් වඩා මට අවශ්‍ය වුනේ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට වැඩි සේවයක් ලබා දෙන්න. සිතූ ලෙසින්ම ඒ සේවය ලබා දෙන්න ලැබීම ගැන මට සතුටුයි. කණ්ඩායමේ පුහුණුකරු චානක පෙරේරා සර් සහ කණ්ඩායම් භාර ආචාර්ය ජගත් පෙරේරා මහතා මේ වෙනුවෙන් දැක්වූ සහයෝගය ඉතා විශේෂයි. ඒ වගේම මගේ කණ්ඩායම. ඔවුන් සෑම අවස්ථාවක දී ම සෑම කෙනෙක්ම උනන්දු කරවමින් කටයුතු කළා. අපි සෑම කෙනෙක්ගේම දෙමාපියන් ද අපව දිරිමත් කළා. ඔවුන්ගේ ආශීර්වාදය මතයි මට මේ තරමින් කඩුලු ලබා ගන්න හැකි වුනේ.” විරංග පැවසුවා.  

විරංග යේෂාන් පාසල් කණ්ඩායම්වල දඟපන්දු යවන්නෙක්ගේ භූමිකාව රඟ දැක්වූව  ඔහු කදිම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. මැදපෙළ ශක්තිමත් කරන පිතිකරුවෙක්. ඔහු මෙවර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 187ක්. ඔහුගේ හොඳම ඉනිම වෙන්නේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 44යි.

විරංග සහ පවුලේ අය

“විරංග කියන්නේ ඉතා හොඳ දක්ෂතා සහිත සටන්කාමී ක්‍රීඩකයෙක්. පන්දු යැවීමෙන් අංක එකේ සිටින විරංග පිතිකරුවෙක් ලෙසින් අවශ්‍ය අවස්ථාවල පිටියට පැමිණ කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් දැනුමෙන් වගේම ක්‍රීඩාවෙනුත් ඔහු ඉහළින්ම අගය කළ හැකියි. ඒ වගේම කැපවීමත්. මේ සියලු දේවල්වලින් පරිපූර්ණ වුන විරංග අනාගතයට ආයෝජනය කළ හැකි දක්ෂ ක්‍රීඩකයෙක්. ”කේරී විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චානක පෙරේරා මහතා පැවසුවා.

විරංග මෙවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම කරන්නට කලින් පසුගිය වසරේ දී විද්‍යාලයීය වයස අවුරුදු19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනවා. එම තරගාවලියේ දී විරංග තරග 9කට සහභාගී වෙමින් කඩුලු 48ක් ලබා ගන්නවා. එම තරගවල දී කඩුලු 5 අවස්ථා 5ක් වාර්තා කරන විරංගගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 22කට ලබා ගත් කඩුලු 7යි. එම තරගයේ දී ලකුණු 57කට කඩුලු 9ක් ලබා ගැනීමට විරංග සමත් වෙනවා. නමුත් විරංගගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව ලකුණු 52කට ලබා ගත් කඩුලු 11යි.

“මම මුලින්ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙද්දී පුංචි චකිතයක් තිබුණා. ඒ මට පුහුණුවීම් ටික හෝ හරියට කර ගන්න පුළුවන් වේවි ද කියන එක. ඒත් පුහුණුකරු ගාමිණි දුශාන්ත සර් මගේ ඒ බය නැති කළා. අවසන් වසර ක්‍රීඩා කළ අයියල පවා මට සෑහෙන්න සහයෝගයක් දැක්වුවා. මම පුංචි වුනත් ඔවුන් සෑම කෙනෙක්ම මගේ දක්ෂතා ගැන විශ්වාස කළා. ඒක මට හොඳ අත්දැකීමක් වුනා.” වීරංග පැවසුවා.

විරංග ක්‍රිකට්වලට විතරක් නෙමේ නැටුමටත් දක්ෂයි. ඔහු සමස්ත ලංකා කප් ගහපු නැට්ටුවෙක්. විරංග අදටත් විද්‍යාලයීය නැටුම් කණ්ඩායම නියෝජනය කරනවා.

මේ නැට්ටුක්කාර දකුණත් දඟපන්දු යවන්නාගේ පන්දු යැවීමේ රිද්මය ද තරමක් නැටුමකට සමානයි. කෙටි දුරක සිට පන්දු යැවීමට පියවර තබන මේ පොඩි මෑන් පන්දුව පිතිකරු වෙත යොමු කරන්නේ උකුස්සෙකු ගොදුරකට මාන බලන්න වගේ. ඒ තරමටම එම ඉලක්කය තියුණුයි.

විරංග නැටුම් තරගයක් අතරතුර

“මම නිතරම උත්සාහ කරන්නේ පිතිකරු මුලාවේ දමමින් පන්දු යවන්න. මට සෑම තරගයක දී කඩුලු අවශ්‍යයි. කඩුලු නොලැබූ දවසට මට ගොඩක් අප්සට්. ඒ නිසා නිතරම ඉතාම හොඳට පන්දු යවන්න මම උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් නිසි පුහුණුවීම්වල යෙදෙනවා. මේ සඳහා මට සහයෝගය දක්වන එන්. සී. සී. එකේ සියලුම පුහුණුකරුවන් වගේම කේරි විද්‍යාලයේ චානක සර්, ගාමිණි සර් සහ රීසා සර් යන පුහුණුකරුවනුත් දක්වන සහයෝගය ඉතා විශේෂයි. මම ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.” විරංග පවසනවා.

එමෙන්ම විරංගගේ මේ ගමනේ දී නිරන්තරයෙන් උදව් කරන විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය ජගත් පෙරේරා මහතා ද කේරි විද්‍යාලයීය හිටපු පුහුණුකරුවෙක් වූ විරාජ් වීරසේකර මහතා ද විද්‍යාලයීය විදුහල්පතිතුමිය සහ විද්‍යාලයීය ක්‍රීඩා භාර ආචාර්යවරයා සේ ම ඊට ප්‍රථම සිටි ආචාර්යවරිය ද ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කළා.

“මගේ ක්‍රිකට් ලෝකය ගොඩ නැගුවේ මගේ තාත්තා. ඔහු මම වෙනුවෙන් විශාල කැපවීම් කළා. ඒ වගේම මගේ අම්මා. ඇයත් මා වෙනුවෙන් සහ මගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැප කරනවා. නංගි වුනත් මගෙන් හා මගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තොර ලොවක් නැහැ. ඇයත් හොඳ ක්‍රීඩිකාවක්. ක්‍රිකට් ක්‍රීඩාවට පුදුම විදිහට ආසාවක් දක්වනවා. මේ අය මම කවද හරි දවසක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරාවි කියන විශ්වාසයේ පසු වෙනවා. මගෙත් ක්‍රිකට්වලින් තිබෙන විශාලම බලාපොරොත්තුව අනාගතයේ දී මීටත් වඩා දක්ෂතා අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමයි.” කොළඹ ක්‍රිකට් පිටිය වර්ණවත් කරන පොඩි මෑන් විරංග පවසනවා.

ඔහුගේ එම බලාපොරොත්තුව ඉෂ්ට වීමට ThePapare.com හී සුබ පැතුම්.   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<