ICC සභාපති පුටුව හිස්වෙයි

1027

2016 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ලෙස කටයුතු කළ ශෂාන්ක් මනෝහර් වසර 4කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධුරයෙන් ඉවත් වී තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (ජූලි 1) රැස්වූ අතර එහි දී මනෝහාර් මෙලෙස තම සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය. 

>>බොරු ඌව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ වැඩක් ද?<<

ශෂාන්ක් මනෝහාර්ගේ ධුර කාලය මීට පෙර අවසන් වීමට නියමිතව තිබුණු නමුත් පවතින ගෝලීය අර්බුදය හමුවේ ඔහුගේ ධුර කාලය තවත් මාස කීපයකින් දීර්ඝ කිරීමට ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව වැඩබලන සභාපති ලෙස සේවය කිරීම සඳහා නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා පත් කර තිබේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ සමස්ත ක්‍රිකට් පවුල වෙනුවෙන් ශෂාන්ක්ගේ නායකත්වයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ලෙස ඔහු ක්‍රීඩාව වෙනුවෙන් කළ සෑම දෙයකටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔහුට සහ ඔහුගේ පවුලේ අයගේ අනාගතයට සුබ පතනවා” ICC ප්‍රධාන විධායක මනු සව්නි එහි දී පැවසීය.

>>ශානකගෙන් ගිනිකෙළි; ධනංජයගේ පිළට ජය<<

මනෝහර් 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. ඉන්පසු ඔහු එම ධුරයට පත්වූයේ ක්‍රිකට් කවුන්සලයේ පැවති ඡන්දයකින් අනතුරුවය. ඔහු එලෙස සභාපති ලෙස තේරී පත් වී වසර දෙකකට පසුව 2018 වසරේ දී දෙවන වරටත් සභාපති ලෙස ඡන්දයකින් පත්විය. 

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දැඩි විරෝධය නොතකා මනොහාර් ධුරයේ සිටි පළමු වසර දෙක තුළ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ  පාලන ව්‍යුහයේ හා මූල්‍ය ආකෘතියේ වෙනස්කම් අධීක්ෂණය කළේය. 2018 වසරේ දී ඔහුට නැවත පත්වීම සඳහා කාලය පැමිණි විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරිපත් කරන ලද එකම අපේක්ෂකයා මනෝහාර් විය.

“ශෂාන්ක් අපේ ක්‍රීඩාවට දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සෑම දෙනාම අපේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව ශෂාන්ක් ක්‍රීඩාවට කළ සෑම දෙයක් සඳහාම කෘතඥතාව පළ කළ යුතු බවට සැකයක් නැහැ. ඔහු ක්‍රිකට් හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔහු එය බාර ගත්තාට වඩා හොඳ තැනක තබන්න සමත් වුනා” වැඩබලන සභාපති කවාජා පැවසීය.

මනෝහර් සිය ධුර කාලය අවසන් කිරීමත් සමඟ ඒ සඳහා පත්වන නව සභාපති පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහක් ගොඩනැගී තිබේ. 

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධුර කාලය අගෝස්තු 3 වැනිදායින් අවසන් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කොලින් ග්‍රේව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර ඉදිරියෙන්ම පසුවේ. 

>>හිටපු තේරීම් කමිටු ප්‍රධානියාව පැය හයක් ප්‍රශ්න කරයි<<

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආයතනික ව්‍යවස්ථාවට අනුව මණ්ඩලයේ දැනට සිටින අධ්‍යක්ෂවරුන් අතරින් එක් අයෙකු හෝ හිටපු අධ්‍යක්ෂවරයකු (වසර හයක් හෝ ඊට අඩු කාලයක් එම තනතුර හෙබවූ අයෙකු) කිසියම් සාමාජික රටක් විසින් යෝජනා කරනු ලැබුවහොත් සභාපති තනතුර සඳහා තරග කිරීමට සුදුසුකම් ලබයි.

කොලින් ග්‍රේව්ස්ට අමතරව මෙලෙස සභාපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සෞරව් ගංගුලිගේ නම ද කියැවේ. 

කෙසේ වෙතත් මෙම ධුරය සඳහා අපේක්ෂකයන් නම් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිල වශයෙන් නිකුත් කර නොමැත.

මෙම රැස්වීමේ දී 2020 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇතැයි බොහෝ දෙනා මත පලකළ ද ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<