කෙටිදුර ධාවනයේ ලෝක ශූර චීනා “Liu Xiang”

563
Liu Xiang

චීනය කියන්නේ අද වෙද්දී ඔලිම්පික් උළෙලක ඉන්න ප්‍රධානතම තරග කාරයෙක්. හැබැයි අද වෙනකම් චීනය ඔලිම්පික් වල දී දිනා ගෙන තියෙන රන් පදක්කම් 284 ඇතුළට මලල ක්‍රීඩාවලින් එකතු වෙලා තියෙන්නේ රන් පදක්කම් 10ක් විතරයි.

ඒ රන් පදක්කම් දහයෙනුත් මීටර් 5000ට අඩු ධාවන ඉසව්වකින් චීනය දිනා ගෙන තියෙන්නේ එකම එක රන් පදක්කමක් විතරයි. ඒ රන් පදක්කමේ අයිතිකාරයා තමයි හිටපු මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක ශූරයෙක් වන Liu Xiang.

Liu Xiang කියන්නේ චීනයේ එතෙක් කවදාවත් බිහි වෙලා නොසිටි, ආයේ කවදා බිහි වේවි ද කියලා කිසිම කෙනෙකුට බලාපොරොත්තුවක්වත් තියා ගන්න බැරි තරම් දේවල් කරපු මනුස්සයෙක්.

අද වෙද්දී චීනය ඔලිම්පික් වල දී වගේම ලෝක ක්‍රීඩා කේෂ්ත්‍රය ඇතුළේ විශේෂයෙන්ම මලල ක්‍රීඩාව වගේ මෙතෙක් තමන්ට දස්කම් පෙන්වන්න නො හැකි වුන ඉසව් ඇතුළේ කැපී පෙනෙන දස්කම් පෙන්වන්න පටන් ගනිමින් ඉන්නවා.

ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ජපානයේ පැවැත්වුණු 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී චීනය ඉතිහාසයේ ප්‍රථම වතාවට යගුලිය සහ හෙල්ල විසි කිරීම ඉසව් දෙකෙන් (කාන්තා අංශයෙන්) රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම. 2020 ඔලිම්පික් උළෙලට වෙන කම් කවදාවත් චීනය ධාවන ඉසව්වකින් හැරෙන්න වෙන කිසිම මලල ක්‍රීඩා  ඉසව්වකින් රන් පදක්කමක් දිනලා තිබුණේ නැහැ.

අනාගතය සමහර විට වෙනස් ප්‍රතිඵල අපි ඉදිරියේ සටහන් කරාවී, ඒත් අතීතය දිහා හැරිලා බලද්දී චීනය ලෝකය ඇතුළේ මොන තරම් බලවතෙක් බව පෙන්වන්න උත්සාහ කළත්, මලල ක්‍රීඩාවෙන් ඒ බව ලෝකයට පෙන්වන්න අසමත් වුනා.

හැබැයි චීනය කවදාවත් කැපී නොපෙනුණු මලල ක්‍රීඩාව ඇතුළේ විශේෂයෙන්ම කෙටිදුර ධාවන ඉසව් ඇතුළේ 2000 දශකය මුල භාගයේ පටන් ම කැපී පෙනුණු එක නමක් තිබුණා. ඒ තමයි Liu Xiang!

ඒ නිසයි Liu Xiang විශේෂ කෙනෙක් වෙන්නේ, ඒ නිසයි ආයේ කවමදාවත් ඒ වගේ චරිතයක් ලෝකයට බිහි නොවේවි කියලා ම ඔහුව හඳුන්වා දුන්නේ.

Liu Xiang මුලින් ම උත්සාහ කරන්නේ උස පැනීමේ ඉසව්වෙන් ක්‍රීඩා පිටියට පිවිසෙන්න. නමුත් Liuගේ උස ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මදි බව කියපු පුහුණුකරුවන් ඔහුට කියනවා ඒ ඉසව්ව ඔහුට නොගැළපෙන බව. පසුව Liu මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තෝරා ගන්නවා.

එය තමන්ගේ ක්‍රීඩා ඉසව්ව බවට තෝරා ගෙන, ඒ වෙනුවෙන් කැප වෙලා ක්‍රීඩා කරන්න පටන් ගත්තු තැන ඉඳන් මාස ගණනාවකින් Liuට හැකි වෙනවා තත්පර 14ක් වගේ අවම කාලයකින් ඉසව්ව නිමා කරන තත්වයට එන්න.

එතැන් සිට ආරම්භ වෙන්නේ ලෝක කඩුලු මතින් දිවීමේ ඉසව්වේ Liu Xiang පරිච්ඡේදය!

මලල ක්‍රීඩාවේ Liu Xiang පරිච්ඡේදය

Liu Xiang කියන නම ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාලයක පටන් යම් කතාබහකට ලක් වෙමින් තිබුනත්, ඔහු ඒ කතාබහ තරමක් බරපතළ මුහුණුවරකට ගේන්න සමත් වෙන්නේ 2002 ජූලි මාසේ 02 වැනිදා. ඒ වෙද්දී Liuගේ වයස අවුරුදු 19ක් වෙන්න ඔන්න මෙන්න තිබුණේ. ඔහු එදා කඩුලු මතින් දිවීමේ යෞවන ලෝක වාර්තාව (World Junior Record) තමන්ගේ නමින් ලියා ගන්න සමත් වෙන්නේ ඉසව්ව තත්පර 13.12කින් නිමා කරන ගමන්.

Liu Xiang නම අදටත් ක්‍රීඩා පිටියේ ජීවමාන ව තියෙන්න පළවෙනි හේතුව තමයි ඒ, අදටත් ඒ ලෝක වාර්තාව කිසිවකු විසින් බිඳ හෙළන්න සමත් වෙලා නැහැ.

එදා ඔහු විසින් බිඳ හෙළන්නේ වසර 24ක් පැරණි වාර්තාවක්, ඒ වාර්තාව බිඳ දාපු Liu මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නේ “මට කවදාහරි ඔලිම්පික් වල හොඳම අට දෙනා අතරට එන්න තියෙනවා නම් නියමයි,” කියලා.

ඒ ප්‍රකාශය කරලා අවුරුදු දෙකක් ගත වෙන තැන හොඳම අට දෙනා අතරිනුත්, හොඳම කෙනා බවට පත් වෙන්න ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී Liu Xiangට හැකියාව ලැබෙනවා.

Junior World Record එක පිහිටවපු දවසේ ඉඳන් ම මම Liu දිහා බලා ගෙන හිටියේ. මට ඒ රාත්‍රිය හොඳින් මතකයි. මම “A” රේස් එක දිනුවා, ඔහු “B” රේස් එක දිනුවා. මට මතකයි මම ඔරලෝසුව දිහා බලා ගෙන කිව්වා, ‘ වෝ…13.12! මේ කොල්ලා කවුද?’

එදා ඉඳන් මම දැන ගෙන හිටියා ඔහු හොඳ දේවල් කරාවි කියලා .”

එදා Liu යෞවන ලෝක වාර්තාව සටහන් කරපු මොහොතේ ඔහු දෙස බලා හිටපු Anier Garcia කියන හිටපු කියුබානු ජාතික ධාවකයා 2004 ඔලිම්පික් උළෙල ආසන්නයේ දී එහෙම ප්‍රකාශ කරනවා.

ඔහු තමයි 2000 වසරේ මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වුනේ. නමුත් 2004 දී වයස අවුරුදු 21ක් වුනු මේ චීන ජාතිකයා ජාත්‍යන්තරයට ම දැනෙන වෙනසක් කරාවී කියලා Garcia විශ්වාස කරනවා.

2004 ඔලිම්පික් උළෙල වෙනකම් ඉතිහාසයේ කිසිම දවසක මලල ක්‍රීඩා ඉසව්වකින් චීන ක්‍රීඩකයෙක් රන් පදක්කම් දිනාගෙන තිබුණේ නැහැ, ක්‍රීඩිකාවන් තුන් දෙනෙක් නම් රන් පදක්කම් දිනලා තිබුණා.

ඒ අනුව 2004 අගෝස්තු 27 වැනිදා චීනය වෙනුවෙන් ඔලිම්පික් උළෙලක දී රන් පදක්කමක් දිනා ගත්තු පළමු මලල ක්‍රීඩකයා බවට පත් වෙන්න වගේම, මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගත්තු හතරවැනි චීන ජාතිකයා බවට පත් වෙන්නත් Liu Xiang සමත් වෙනවා.

ඔහුගේ ධාවන කාලය සටහන් වෙන්නේ තත්පර 12.91ක් විදිහට. එදා Liu Xiang සමත් වෙනවා කඩුලු මතින් දිවීමේ වසර 11ක් පැරණි ලෝක වාර්තාවක් සම කරන්න වගේම, නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන්නත්.

එදා Liu Xiang පිහිටපු ලෝක වාර්තාව නම් පසු කාලයක Liu Xiang විසින් වගේම ඔහුට පසුව තවත් අවස්ථා දෙකක දී බිඳ වැටෙනවා.

2006 ජූලි මාසේ 11 වැනිදා Liuට වයස අවුරුදු 23ක් වෙද්දී නැවතත් ඔහු සමත් වෙනවා කඩුලු මතින් දිවීමේ තමන්ගේ ම ලෝක වාර්තාව අලුත් කරන්න. එදා මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නිම කරන්න ඔහු ගත කරන්නේ තත්පර 12.88ක කාලයක් පමණයි.

ඉන්පසුව 2008 දී සහ 2012 දී මේ ලෝක වාර්තාව බිඳ වැටෙනවා. අද වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරපු Aries Merrittගේ නමට හිමි මේ වාර්තාවේ කාලය සටහන් වෙලා තියෙන්නේ 12.80ක් විදිහට.

මීට අමතරව Liu Xiang තත්පර 12.87කින් මේ ඉසව්ව නිමා කරන්න සමත් වෙලා තිබුනත් සුළඟේ වේගය නිසා ඒ කාලය නිල වශයෙන් වාර්තාවලට ඇතුළත් කර ගෙන නැහැ.

කොහොම වෙතත් ලෝක වාර්තාව Liuගේ නම ඉස්සරහින් ගිලිහිලා ගියාට යොවුන් ලෝක වාර්තාව වගේම, ඔලිම්පික් වාර්තාවේ අයිතියත් තවම තියෙන්නේ Liu Xiangගේ නම ඉදිරියෙනුයි. ඒ තමයි එදා 2004 දී Liu Xiang තබපු වාර්තාව.

එදයින් පස්සේ අද වෙනකම් වෙන කිසිම ක්‍රීඩකයෙක් තියා Liu Xiangටවත් අඩුම තරමේ නොහැකි වෙනවා තමන්ගේ ඔලිම්පික් වාර්තාව අබිබවා යන්න. අඩුම තරමේ 2004 ඔලිම්පික් අවසන් මහා තරගයෙන් පස්සේ Liu Xiang කවදාවත් ඔලිම්පික් උළෙලක කඩුලු මතින් දිවීමේ ඉසව්ව අවසන් කරලා නැහැ.

Liu Xiang නම් අවාසනාවන්ත පුරාවෘත්තය

2008 ඔලිම්පික් උළෙල පැවැත්වුණේ චීනයේ බීජින්ග් නුවර. ඒ කියන්නේ Xiangගේ උපන් රටේ දී.

2004 ඔලිම්පික් පදක්කම් ලාභීන් 31ක් දෙනෙක් අතරින් වැඩියෙන්ම චීන ප්‍රේක්ෂකයින් අතරේ ප්‍රසාදය හිමි කර ගත්තේ Xiang බව නොරහසක්.

“මම සලකන විදිහට, ඒ වෙද්දී (2008 බීජීන්ග් ඔලිම්පික් උළෙල) මට වයස අවුරුදු 26ක් වේවි. 26 කියන්නේ ක්‍රීඩකයෙක් සඳහා හොඳම වයස. ඒක ස්වර්ණමය වයසක්, මගේ මව්රටේ දී ම දක්ෂතා පෙන්වීමට ලැබෙන අවස්ථාව මම කිසිම විදියකින් මග හැර ගන්නේ නැහැ.”

2004 ඔලිම්පික් පදක්කම ලබා ගෙන Xiang ඒ විදිහේ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු වුනත්, යථාර්ථය ඊට තරමක් වෙනස් වුනා.

2008 දී 90,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ චීනයේ බීජින්ග් නුවර Bird Nest ක්‍රීඩාංගණයේ තමන්ගේ මීටර 110 ඉසව්ව සඳහා තරග වැදීමට පැමිණි Xiang තරමක් අපහසුවෙන් සිටින බව බැලූ බැල්මට ම පෙනී ගියත්, එය තහවුරු වුනේ තරගය වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ලබා ගත් වැරදි ආරම්භයකින් පසුව දිවීමට පටන් ගත්තු Xiang පාදයේ වේදනාවකින් යුතුව පිටියෙන් ඉවත් වෙනවා දකිද්දියි.

2004 ඔලිම්පික් පදක්කම දිනා ගන්නත් පෙර සිටම ඔහු පීඩා විඳි ආබාධයක් නිසා 2008 දී Xiangට සිදු වෙනවා ඔලිම්පික් තරගාවලියේ තමන්ගේ ඉසව්වෙන් ඉවත් වෙලා යන්න.

ඒ අවාසනාවන්ත සිදුවීමෙන් වගේම පාදයේ වේදනාවෙනුත් පීඩා වින්ද Xiang නැවත ධාවන පිටියට එකතු වෙන්න අවුරුද්දකට ආසන්න කාලයක් වැය කරනවා.

නැවත පැමිණීමෙන් පසුවත් තමන් පෙර මෙන් ම ශක්තිමත් බව පෙන්වමින් ඔහු 2011 ලෝක ශූරතාවලියේ දී තමන්ගේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා.

ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල වෙත එන්නෙත් නැවතත් ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමේ අරනුණින්මයි.

නමුත් අවාසනාවන්ත විදිහට 2012 ඔලිම්පික් උළෙලේ දීත් Xiangට තමන්ගේ පළමු කඩුල්ල පවා තරණය කර ගන්න ලැබෙන්නේ නැහැ. ඔහුගේ පාදය කඩුල්ලේ වැදීමෙන් පසුව ඔහු බිම ඇද වැටෙනවා.

මද වෙලාවක් Liu තමන් වැටුණ තැනම වාඩි වෙලා ඉඳලා, පසුව නැගිටලා යනවා 2008 දී වගේම.

නමුත් තවත් තත්පර කිහිපයකින් ඔහු නැවතත් ධාවන පථයට එන්නේ තනි කකුලකින්.

ඔහු කඩුලුවලට පසෙකින් තනි කකුලක ආධාරයෙන් පැන පැන ඉස්සරහට යනවා, අවසාන කඩුල්ල ළඟට වෙන කම් ඒ විදිහට ගිය Liu Xiang අවසන් කඩුල්ල වෙතට ගිහින් එය සිප ගන්නවා.

ප්‍රේක්ශකාගාරයේ වගේම සහයක ධාවකයින්ගෙනුත් ලැබෙන උණුසුම් ප්‍රතිචාර හමුවේ Liu Xiangට සිදු වෙනවා රෝද පුටුවක් ආධාරයෙන් පිටියෙන් ඉවත් වෙලා යන්න.

නැවත කිසිදා තමන්ට ඔලිම්පික් උළෙලකට ක්‍රීඩා කරන්න නොලැබේවී කියලා Liuට ඒ මොහොතේ හිතෙන්න ඇති.

ඒ මොහොත මේ චීන ලෝක ශූරයාට ආදරය කරපු ඕනෑම කෙනෙකුගේ ඇස්වලට කඳුලක් ගෙන එන්න සමත් වුන මොහොතක්.

මම අත් හරින්න කැමති නැහැ, ඒත් මට ඔබෙන් සමුගන්න කාලය ඇවිත්!

2015 අප්‍රේල් මාසයේ දී වයස අවුරුදු 31ක් වුන Xiang ඒ විදිහට තමන්ගේ වෙබ් අඩවියේ සංවේදී සටහනක් තබමින් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කරනවා.

2012 ඔලිම්පික් උළෙලේ දී ඇද වැටුනයින් පස්සේ නැවත Xiangට පෙර ලෙසට නැගී සිටින්න නොහැකි වෙනවා.

“ඇත්තටම මට දැන් වයසයි, හොඳින් නෙවෙයි ඉන්නේ. ඔබ සමඟ තවත් දුවන්න පනින්න මට බැහැ. ඒක ලොකු දුකක්, ඒ වගේම වේදනාකාරීයි. මට වෙන්න ගන්න තීරණයක් ඉතුරු වෙලා නැහැ!”

හිටපු ලෝක ශූරයා ඒ විදිහට තමන්ගේ කතාවට තිත තබනවා.

ආබාධ සහ අවාසනාව නිසා Liu Xiang ලෝකයට විවර වෙද්දීම වගේ ලෝකයෙන් හැංගිලා ගියා. එහෙම නොවෙන්න Liu Xiang කියන්නේ අදටත් ලෝකයට ම මාතෘකාවක් වෙන්න තරම් ශක්‍යතාවක් තිබුණු චීන ජාතිකයෙක්.

ඔහු තමන්ගේ සමුගැනීමෙන් පස්සේ තමන්ට මුහුණ දෙන්න වුන කටුක අතීතය පිළිබඳ මේ විදිහට පවසනවා.

“මම ධාවන පථයට සහ බාධකවලට ආදරය කරනවා, මගේ පාදය ආබාධයකට ලක් නොවුනා නම්….

ඒත් මේ ලෝකේ “නම්” කියලා ඉවර වෙන දේවල් නැහැ. මම මටම තුවාල කර ගත්තා සහ මම එය නිහඬව ම පිළිගන්නවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<