Smith ආයෙත් IPL එයි; KKR රසිකයින් කුල්මත් වෙයි!

IPL 2023

497
steve smith will join as a player or commentator

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smith විසින් තමන් මෙවර IPL තරගාවලිය සමගින් එක් වන බව පවසා සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

Smith විසින් අවසන් වරට IPL තරගාවලියක් සඳහා සහභාගී වුනේ 2021 වසරේ දී වන අතර, 2022 ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව කිසිදු කණ්ඩායමක් මගින් මිල දී නොගත් අතර, පසුව මෙවර තරග වාරය වෙනුවෙන් පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් (Mini Auction) ඔහු සිය නම ඉවත් කර ගැනීමට කටයුතු කළා.

නමුත් ඊයේ (27) නැවතත් Smith විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් මෙවර IPL තරගාවලිය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

“නමස්තේ ඉන්දියා, මට ඔබ වෙනුවෙන් වටිනා ප්‍රවෘත්තියක් තියෙනවා. මම 2023 IPL තරගාවලිය සමගින් එකතු වෙනවා. මම ඉන්දියාවේ හොඳම කණ්ඩායමක් සමග එකතු වෙනවා.”

අවසන් වරට 2021 දී Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ Smith විසින් මේ දක්වා IPL කණ්ඩායම් හතරකට ක්‍රීඩා කර තිබෙනවා.

2012 දී පළමු වරට Pune Warriors කණ්ඩායම සමඟ එක් වූ Smith ඉන්පසුව 2014/15 තරග වාර දෙක සඳහා Rajasthan Royals සමඟ එකතු වුනා. පසුව 2017 දී Rising Pune Super giants කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිය කණ්ඩායම අවසන් මහා තරගය වෙත කැඳවා ගෙන යාමට පවා Smith සමත් වුනා. එමෙන්ම නැවත Rajasthan Royals සමඟ 2019දී එක් වුනු ඔහු 2020 දී කණ්ඩායමේ නායකත්වය ද බාර ගත්තා.

ඒ අනුව මෙතෙක් IPL තරග 103ක් ක්‍රීඩා කර ඇති Smith ලකුණු 2485ක් රැස් කර ගෙන සිටිනවා. එමෙන්ම ඔහු ඉතාම හොඳ නායකයෙකු බවට ක්‍රිකට් ලොව පුරා පිළිගැනීමක් ලැබී ඇති ක්‍රීඩකයෙක්.

මේ අතර නිමා වූ Big Bash ලීගයේ දී Smith විසින් දියත් කළ ප්‍රවේගකාරී පිතිකරණ රටාව ද ඔහුට විශේෂ අවධානයක් ලැබීමට තවත් හේතුවක් ලෙස සඳහන් කළ හැකියි.

ඉහත කරුණු නිසාවෙන්ම Smith විසින් ඊයේ ලබා දුන් පණිවිඩය Kolkata Knight Riders කණ්ඩායම් රසිකයින්ගේ විශේෂ අවධානයට ලක් වුනා.

මේ වන විට KKR කණ්ඩායමේ නිත්‍ය නායකයා වන Shreyas Iyer හට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලිය අහිමි වීම නිසා KKR කණ්ඩායමට නායකයකු අහිමි වී ඇති අතර ඒ වෙනුවෙන් Smith ව ආදේශ කළ හැකි බවයි KKR රසිකයින් විශ්වාසය පළ කරන්නේ. (නමුත් KKR නව නායකයා Nitish Rana වනු ඇති බවට ආරංචි පැතිර යනවා.)

නමුත් KKR රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු වේද යන්න සැක සහිත තත්වයකට පත්ව ඇත්තේ Smith මෙවර IPL තරගාවලියට ක්‍රීඩකයකු ලෙස නොව විස්තර විචාරකයකු ලෙස ඉදිරිපත් වනු ඇති බවට තවත් ආරංචියක් පැතිර යාමත් සමඟයි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<