කුළුඳුල් WPL කිරුළ Mumbai Indians ක්‍රීඩිකාවන්ට

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

239
Mumbai Indians Womens won WPL 2023
Getty Images

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නව වටිනාකමක් එකතු කරමින් පළමු වතාවට පැවති කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Mumbai Indians ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් වුනා.

Brabourne ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී Delhi Capitals ක්‍රීඩිකාවන් කඩුලු හතකින් පරාජයට පත් කරමින් ඔවුන් එම ශූරතාවය දිනා ගත්තා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් Delhi Capitals ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුලු 9 ලකුණු 79ක් තුළ දවා ගැනීමට Mumbai ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ඉදිරිපෙළ පිතිකාරිණියන් අතරින් සාර්ථක වූ Meg Lanning පන්දු 29ක් තුල හතරේ පහර පහක් සමඟ ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර Marizanne Kapp ලකුණු 18ක් රැස් කළා.

අවසන් මහා තරගයේ Delhi ක්‍රීඩිකාවන්ට සටන් කිරීමට හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් අවසන් කඩුල්ල සඳහා ලකුණු 52ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට Shikha Pandey සහ Radha Yadavට හැකි වුනා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Radha Yadav පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 27ක් රැස් කළ අතර Shikha Pandey පන්දු 17ක් තුළ ලකුණු 27ක් ලබා ගත්තා.

ලකුණු 136ක් හඹා යෑමට පිටියට පිවිසි Mumbai ක්‍රීඩිකාවන්ට ද තරමක පීඩනයක් එල්ල කරමින් පළමු කඩුලු දෙක ලකුණු 23ක් තුල දවා ගැනීමට Jess Jonassen සහ Radha Yadavට හැකි වුනා.

නමුත් දෙවැනි කඩුල්ල සඳහා Nat Sciver-Brunt සමඟ එක්ව ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න කිරීමට නායිකා Harmanpreet Kaurට හැකි වුනා.

ලකුණු 37ක් ලබා සිටි Harmanpreet Kaur අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වූවත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ Nat Sciver-Brunt නොදැවී ලකුණු 60ක් ලබා ගෙන සිය කණ්ඩායමට ජයග්‍රහණයට රැගෙන ගියා.

අවසන් මහා තරගයේ ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ Nat Sciver-Brunt අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනා ගද්දී, තරගාවලියේ වටිනාකම ක්‍රීඩිකාවට ලෙස තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූ Hayley Matthews කුසලාන දිනා ගත්තා.

තරගාවලියේ අනෙක් කුසලාන බෙදී ගිය ආකාරය,

  • තරගාවලියේ වැඩිම කඩුලු ලාභිණිය: Hayley Matthews
  • තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණිය: Meg Lanning
  • තරගාවලියේ නැගීඑන ක්‍රීඩිකාව: Yastika Bhatia
  • තරගාවලියේ හොඳම උඩ පන්දුව: Harmanpreet Kaur

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<