වැඩ පෙන්වූ අයට ඉහළ කොන්ත්‍රාත්තු; Jadeja ඉහළ කාණ්ඩයට

2611

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadejaගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව A කාණ්ඩයේ සිට A+ දක්වා ඉහළ දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

එම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ලබා ගත් සිව්වැනි ඉන්දීය ක්‍රීඩකයා ඔහු වන අතර ඔහුට අමතරව ඉන්දීය ක්‍රිකට් නායක Rohit Sharma සහ කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන Virat Kohli සහ Jasprit Bumrah එම කාණ්ඩයට ඇතුළත්.

මෙම උසස් වීමත් සමඟ Jadejaගේ වටිනාකම ඉහළ යන අතර  A+ කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඉන්දීය කෝටි 7ක මුදලක් වාර්ෂිකව හිමි වෙනවා.

නවතම කොන්ත්‍රාත්තුවට අනුව Axar Patelගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව B කාණ්ඩයේ සිට A කාණ්ඩය දක්වා ඉහළ දමා ඇති අතර ශාරීරික යෝග්‍යතා ගැටලුව නිසා පසුගිය වසරේ C කාණ්ඩය දක්වා පසු බැසීමට ලක් වූ Hardik Pandyaගේ කොන්ත්‍රාත්තුව A දක්වා ඉහළට පැමිණීම විශේෂත්වයක්.

පසුගිය කාලසීමාවේ සීමිත පන්දුවාර පිටියේ දැක්වූ ඉහළ දස්කම් නිසා Suryakumar Yadav සහ Shubman Gill හට ද B කාණ්ඩයේ කොන්ත්‍රාත්තු ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ඔවුන්ට මීට පෙර හිමිව තිබුණේ C කාණ්ඩයයි.

Arshdeep Singh සහ KS Bharatට පළමු වරට ඉන්දීය ක්‍රීඩක කොන්ත්‍රාත්තු (C කාණ්ඩයේ) හිමිව තිබෙන අතර Arshdeep Singh ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම් නියෝජනය කළ අතර KS Bharat නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.

Wriddhiman Saha, Hanuma Vihari සහ Mayank Agarwal යන ක්‍රීඩකයින්ට මෙවර ඉන්දීය කොන්ත්‍රාත්තු අහිමිව තිබෙන අතර Bhuvneshwar Kumar සහ Deepak Chahar යන ක්‍රීඩකයින්ට ද කිසිදු කොන්ත්‍රාත්තුවක් හිමිව නැහැ.

Cheteshwar Pujara හට සුපුරුදු පරිදි B කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙන අතර Ajinkya Rahane සහ Ishant Sharma යන ක්‍රීඩකයින්ට ද මෙවර කොන්ත්‍රාත්තුවක් හිමි නැහැ.

පසුගිය වසරේ කිසිදු කොන්ත්‍රාත්තුවක් හිමි නොවූ Kuldeep Yadav හට මෙවර C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙන අතර පසුගිය කාලසීමාවේ අසාර්ථක වූ KL Rahulගේ කොන්ත්‍රාත්තුව A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා පහළ දමා තිබීම කැපී පෙනෙනවා.

ඉන්දීය ක්‍රිකට් කොන්ත්‍රාත්තු බෙදී ගිය ආකාරය,

  • A+ කාණ්ඩය (කෝටි 07) – Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah, Ravindra Jadeja
  • A කාණ්ඩය (කෝටි 05) – Hardik Pandya, R Ashwin, Mohammed Shami, Rishabh Pant, Axar Patel
  • B කාණ්ඩය (කෝටි 03) – Cheteshwar Pujara, KL Rahul, Shreyas Iyer, Mohammed Siraj, Suryakumar Yadav, Shubman Gill
  • C කාණ්ඩය (කෝටි 01) – Umesh Yadav, Shikhar Dhawan, Shardul Thakur, Ishan Kishan, Deepak Hooda, Yuzvendra Chahal, Kuldeep Yadav, Washington Sundar, Sanju Samson, Arshdeep Singh, KS Bharat

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<