ශනුක දිසානායක වරායට වසන්තය රැගෙන එයි

940
SLC Premier League 2016/17 17th December Roundup

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම පසුගිය දා (15) ආරම්භ වූ අතර, තවත් තරඟයක් ඊයේ (16) ආරම්භ විය. එයින් අද (17) අවසන් වූ තරගයකින්, ශනුක දිසානායකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉණිමක හා ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: පානදුර හා නාවික ක්‍රීඩකයෝ ජයග්‍රාහකයින් අතරට

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පෙරේදා (15) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජය වෙත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදෙන ලදි. මෙම තරඟයෙන් වරාය අධිකාරී කණ්ඩායම ඉණිමක හා ලකුණු 14ක සුපිරි ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

උදෑසන කිසිදු පන්දුවකට මුහුණ නොදී වරාය අධිකාරි පළමු ඉණිම කඩුලු 8ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියදී, ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. අනතුරුව ඉණිමක පරාජයෙන් බේරීම සඳහා පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 121ක් ලබාගැනීමට නියමිතව තිබුණද එයට අභියෝග කල වරාය අධිකාරි පන්දු යවන්නන් විශිෂ්ට ලෙස තම වගකීම ඉටුකරන ලදි. නමුදු පොලිස් ක්‍රීඩා සමාජයේ දෙවන ඉණිම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පිතිකරණයේ නිරත වූ හෙශාන් පෙරේරා නොදැවී ලකුණු 36*ක් ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහර 2ක් හා එක් 6 පහරක් අන්තර්ගත කිරීමට ඔහු සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම103/10 (50): සමිත් දුශ්ශන්ත 26, චානක කොමසාරු 5/35, චාමිකර එදිරිසිංහ 4/29

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම223/08 dec (87): හේශාන් ගුණතිලක 99, යොහාන් ද සිල්වා 32, කල්‍යාණ රත්නප්‍රිය 4/65

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම106/10 (39): හෙශාන් පෙරේරා 36*, තරිදු ඩිල්ශාන් 21, ශනුක  දිසානායක 5/29, චාමිකර එදිරිසිංහ 3/34


කළුතර නගර සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

මෙම තරඟය ඊයේ (16) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

කඩුලු 2ක් දැවී ලකුණු 71ක් ලබා සිටියදී කළුතර නගර සමාජ කණ්ඩායම තම පළමු ඉණිම අද (17) දිනය සඳහා ආරම්භ කල අතර ඒ වන විට රිසිත් උපමාල් නොදැවී ලකුණු 20*ක් ලබා සිටින ලදි. තෙවන කඩුල්ල සඳහා ලකුණු 146ක සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කිරීමට රිසිත් උපමාල් හා ගීත් පෙරේරා සමත් විය. ගීත් පෙරේරා ලකුණු 57කට දැවීගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 4ක් ඇතුළත් විය. රිසිත් උපමාල් හා නිපුණ ගමගේ දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර, ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 116*ක් හා ලකුණු 34*ක් ලබාගෙන සිටින ලදි. රිසිත් උපමාල් තම අගනා ශතක ඉණිමට 4 පහර 16ක් එල්ල කරන ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමු ඉණිම232/10 (70.2): රුවන්ත ඒකනායක 111, හශාන් ප්‍රභාත් 50, තරිදු සිරිවර්ධන 3/20, කල්හාර කොටවසිංහ 3/64

කළුතර නගර සමාජ කණ්ඩායම පළමු ඉණිම (දෙවන දිනය අවසානයේදී)  – 258/03 (81): රිසිත් උපමාල් 116*, ගීත් පෙරේරා 57, නිපුන ගමගේ 34*, තරිදු සිරිවර්ධන 29, සඳමාල් ජයවික්‍රම 3/64

කළුතර නගර සමාජ කණ්ඩායම කුරුණෑගල තරැණ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් පසුවෙයි.

මෙම තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම ලබන 21වන දා සිට 23වන දා දක්වා පහත පරිදි  පැවැත්වීමට නියමිතව ඇත.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම අතර තරඟය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී,

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදී,

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය වැලිසර නාවික හමුදා පිටියේදී,

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජ කණ්ඩායම අතර තරඟය මත්තේගොඩ යුධ හමුදා පිටියේදී.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට