සාන්ත පීතරයින් අපරාජිතව අවසන් මහා සටනට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1712

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (7) මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

එම තරගයේ දී ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් කඩුලු 4ක ජයක් ලබා ගත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

ඉසිපතන ක්‍රීඩකයින් මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, ගියවර ශූරතාවය දිනූ ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කරමින් සාන්ත පීතර ක්‍රීඩකයින් මේ තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ ඉසිපතන නායක තිනුල ලියනගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දුවාර 44කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 170ක් පමණයි.

එහි දී කවිඳු ආමන්ත සහ යෙසිත් කළුපහන ඉසිපතන ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමින් ලකුණු 26 බැගින් ලබා ගත්තා. කවිඳු, යෙසිත්, රන්දුනු ගංගනාත් සහ තරුෂ නෙත්සර හැරෙන්නට ඔවුන්ගේ අනෙක් එකඳු පිතිකරුවෙක් හට හෝ ලකුණු 20 සීමාව අභිබවා යාමට වනුජ ඇතුළු සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සහ සාන්ත පීතර නායක වනුජ කුමාර කඩුලු 2ක් දවා ගන්නා විට, ශනොන් රොද්‍රිගෝ ද කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය තවදුරටත් සිය අපරාජිකත්වය රැකගනිමින් පන්දුවාර 41කුත් පන්දු 2ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබාගෙන මේ තරගය ජයග්‍රහණය කළා.

පිතිකරණයේ දී ද වැඩිම දස්කම් දැක්වූ වමතින් පිතිකරණයේ නිරත වන නායක වනුජ පන්දු 63කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42*ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 5ක් ඇතුළත් වුනා.

ඊට අමතරව ඔවුන්ගේ ආරම්භක පිතිකරු රුසඳ ගමගේ ලකුණු 37ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී ඉසිපතන දඟපන්දු යවන ක්‍රීඩකයින් වන යුනෙත් සෙනෙවිරත්න සහ කවිඳු ආමන්ත කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු සාරාංශය,

ඉසිපතන විද්‍යාලය – 170 (44.5): කවිඳු ආමන්ත 26, යෙසිත් කළුපහන 26, රන්දුනු ගංගනාත් 23, තරුෂ නෙත්සර 22, වනුජ කුමාර 2/21, ශනොන් රොද්‍රිගෝ 2/37.

තර්ස්ටන් විද්‍යාලය – 171/6 (41.2): වනුජ සහන් 42*, රුසඳ ගමගේ 37, ලහිරු දවටගේ 20, යුනෙත් සෙනෙවිරත්න 2/13, කවිඳු ආමන්ත 2/37.

තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය මේ මස 12 වැනිදා අපරාජිත මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර Tier B කොටසේ අවසන් මහා තරගය මේ මස 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කොළඹ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරග දෙකම ThePapare.com සහ Batsman.com සහ Dialog TV නාලිකා අංක 140 හරහා සජීව ලෙස නැරඹීම හැකි.

තවද, දෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග දෙකම කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි Tier A කොටසේ අවසන් මහා තරගය මේ මස 9 වැනිදා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙනු ඇත.

හොරණ තක්ෂිලා මාධ්‍ය මහා විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත Tier B කොටසේ අවසන් මහා තරගය මේ මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<