තර්ස්ටන් Tier B කොටසේ අවසන් මහා තරගයට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

998

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ පළමු අවසන් පූර්ව තරගය අද (6) මග්ගොන දී නිමාව දුටුවා.

එහි දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 66කින් පරාජය කළ තර්ස්ටන් විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

තර්ස්ටන් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පිළිවෙළින් ලුම්බිණි සහ මොරටු මහා විද්‍යාලයීය කණ්ඩායම් පරාජය කරමින් මේ තීරණාත්මක අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 225ක් රැස් කර ගැනීමට සමත් වුනා.

එහි දී තර්ස්ටන් ලකුණු සටහන සාර්ථක ලකුණු පුවරුවක් කරා රැගෙන ගිය තර්ස්ටන් කඩුලු රකින ආරම්භක පිතිකරු තරිඳු හර්ෂණ අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු 80ක දී වාර්තා වුනු එම ලකුණු 58 ඉනිමට 4 පහර 4ක් ඇතුළත් වුනා. හර්ෂණට අනගි සහයක් ලබා දුන් විහාස් තෙව්මික හා නායක බවන්ත ජයසිංහ⁣ තර්ස්ටන් මැදපෙළ සවිමත් කළා.

පන්දු යැවීමේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් එවින් කල්හාර, හංසජ හිරුණ, ශේන් ආදිත්‍ය සහ මහිඳු මලිත් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ලකුණු 226ක තරමක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා දීමට අපොහොසත් වුනා. අනතුරුව පිටියට පැමිණි කවීන් ප්‍රනාන්දු අද දිනයේ මාරිස් ස්ටෙල්ලා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 38ක් වාර්තා කළා. නමුත් ඔවුන්ගේ වෙනත් එකඳු පිතිකරුවක ලකුණු 20 සීමාවටවත් පැමිණීමට සමත් වුනේ නැහැ.

මාරිස් ස්ටෙල්ලා ඉනිමේ 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන අතරතුර දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට මාරිස් ස්ටෙල්ලා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 92ක් ලෙස සටහන් වුනා.

අනතුරුව තරගය නැවතත් ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබුණු බැවින් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබා දීමට කටයුතු කිරීම නිසා එහි දී තරගයේ ජය තර්ස්ටන් විද්‍යාලය සතු වුනා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 225/9 (50): තරිඳු හර්ෂණ 58, විහාස් තෙව්මික 33, බවන්ත ජයසිංහ 32, එවින්

කල්හාර 2/34, හංසජ හිරුණ 2/34, ශේන් ආධිත්‍ය 2/42, මහිඳු මලිත් 2/49

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය 92/6 (29.4): කවීන් ප්‍රනාන්දු 38, විහාස් තෙව්මික 3/27

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 66ක ජයක්

Tier B කොටසේ අවසන් මහා තරගය සඳහා තර්ස්ටන් විද්‍යාලය සමඟ තරග වදින අනෙක් කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගය හෙට (7) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතයි.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන එම තරගය ThePapare.com සහ Batsman.com සම නිෂ්පාදනයක් ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<